ජපන් අගමැතිගේ ඉන්දීය සංචාරයේ සැඟවුණු කතාව

එක්සත් ජාතීන්ගේ සංවිධානයට පසුව ලොව බලගතුම රාජ්‍යයන්ගේ එකරාශිවීම් ද්විත්වය, නැතිනම් ලොව අනෙක් බලගතුම රාජ්‍ය සංවිධාන දෙක වන්නේ G20 සහ G7 ය.

පසුගිය වසර දෙක ඇතුලත ලෝකය මුහුණදෙන කොවිඩ්-19 සහ යුක්රේන යුද්ධය යන බරපතල අභියෝග මධ්‍යයේ, අංක එකේ පසුවන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරිත්වය ප්‍රමාණවත් නොවන බව මේ වන විටත් හෙළිවී හමාරය.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය වේවා, අන්තර්ජාතික මුල්‍ය අරමුදල වේවා, ලෝක බැංකුව වේවා, මෙම බහුපාර්ශ්වික ආයතනවල ක්‍රියාකාරීත්වයද නූතන ලෝකයේ අභියෝගවලට ප්‍රමාණවත් නොවන බව පසක්වී තිබේ.

ලොව දැන් ලෝකයට G20 සහ G7 සංවිධානයන්ගේ සම්පුර්ණ ක්‍රියාකාරිත්වය අවශ්‍ය වී ඇත්තේ එම පරිසරය තුළය. නියෝජනය කරන රාජ්‍යයන් සංඛ්‍යාව මත නොව, නියෝජිත රටවලට පවතින ගෝලීය බලය මත මෙම සංවිධාන දෙකම සමස්ත ලෝකයේ භුමිය, ආර්ථිකය සහ වෙළඳාම යන ක්ෂේත්‍රයන්ගෙන් සියයට 70කට ආසන්න අගයක් නියෝජනය කරනවා යැයි පැවැසීම අසත්‍යක් නොවේ.

G7 සංවිධානයේ වත්මන් සභාපති, ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා පසුගිය සඳුදා ඉන්දියාවට පැමිණ, G20 සංවිධානයේ වත්මන් සභාපති ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවන්නේ මෙවැනි වටපිටාවකය. එමනිසාම සමස්ත ලෝකයේම අවධානය මෙම හමුව කෙරෙහි යොමුවීමද වැළැක්විය නොහැක්කක් විය.

මෙම හමුවට පෙර, අවසන් වරට ජපාන අගමැති කිෂිඩා ඉන්දියවට පැමිණියේ පසුගිය වසරේ මාර්තු මාසයේදීය. ඉන් අනතුරුව අගමැති මෝදි දෙවරක් ජපානයට ගොස් ඇත. ඒ වරක් දිවංගත අගමැති අබේ ෂින්සෝගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහ තවත් වරක් ක්වාඩ් සමුළුව සඳහාය. කෙසේවෙතත් මෙවර, ද්විපාර්ශ්වික හමුවක් සඳහා ජපානයට යෑමට නියමිතව සිටියේ අගමැති මෝදි ය. එහෙත් කිෂිඩා ඒ වෙනුවට ඉන්දියාවට පැමිණියේය. එමනිසාම දැන් මෙය යම් අනුමානයන්ටද තුඩු දී ඇත.

කිෂිඩාගේ හදිසි සංචාරය බොහෝ විශ්ලේෂකයින් විසින් දකින්නේ, මාර්තු මස මුලදී ඉන්දියාව විසින් සත්කාරකත්වය සපයන ලද G20 හි විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමට ජපාන විදේශ ඇමැති හයාෂි යොෂිමාසා නොපැමිණීම හේතුවෙන් සිදුකෙරුණක් ලෙසිනි.

යුක්රේනයට එරෙහිව රුසියාවේ ආක්‍රමණශීලී ක්‍රියාකලාපය ගැන කිෂිඩා මෑත කාලීනව විශාල ලෙස හඬ නඟා ඇත. ඔහු සෑම විටම ප්‍රකාශ කර ඇත්තේ, “අද යුක්රේනය හෙට නැගෙනහිර ආසියාව විය හැකිය” යනුවෙනි. එසේම නැගෙනහිර සහ දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම්වල වර්ධනයන් වෙත කිෂිඩා නිරන්තරයෙන් අවධානය යොමු කර ඇත.

එහෙත් සිය විදේශ ඇමැති හයාෂි යොෂිමාසා G20 හි විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමට නොපැමිණි නිසා, ඉහත මාතෘකා පිළිබඳව සිය හඬ G20 තුළ පැහැදිලිව නගන්නට කිෂිඩාට හැකියාවක් ලැබුණේ නැත.

එහෙත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්, චීන විදේශ අමාත්‍ය ක්වින් ගැන්ග්, ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙනී වොන්ග්, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව්, එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි සහ යුරෝපා සංගමයේ ඉහළ නියෝජිත/උප සභාපති ජෝසෆ් බොරෙල් යන ඉහළපෙළේ බොහෝ නියෝජිතයන් රැස්වීමේ හිඳිමින් සිය අදහස් ප්‍රකාශ කළහ.

එමනිසා විදේශ ඇමැතිවරයකුද ලෙස කටයුතු කර ඇති කිෂිඩා විදේශ ඇමති මට්ටමින් පැවැත්වෙන් G20 සමුළුවකට සහභාගී වීමේ වැදගත්කම හොඳින් දනී.

G20 විදේශ ඇමැති හමුව මගහැරීම හේතුවෙන් කිෂිඩා මෙලෙස හදිසියේ ඉන්දියාවට පැමිණියේ යැයි කියන පැහැදිලි කිරීම්වල යම් සත්‍යතාවක් පැවැතියද, නිසැකවම, නායකයන් දෙදෙනා G-20 සහ G-7 හි සංසද දෙකෙහි න්‍යාය පත්‍ර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම නවතම හමුවීම භාවිත කළ බව දැකගත හැකිවිය.

රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම ප්‍රධාන ලෙසම සාකච්ඡාවට ලක්කිරීම ජපානය සභාපතිත්වය දරන G7 සංවිධානයේ ප්‍රමුඛතම න්‍යාය පත්‍රය වන අතර එහි අරමුණ “නීතියේ ආධිපත්‍යය” සුරැකීම වේ. මෙම ගැටළුව මූලික වශයෙන් G20 හිද සාකච්ඡාවට ලක්කර ඇත.

ජපානය සිය “නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික්” යන විශාල සැලැස්ම යටතේ ඊසානදිග ඉන්දියාව අග්නිදිග ආසියාවේ සෙසු ප්‍රදේශ සමඟ ඒකාබද්ධ කිරීමට සැලසුම් කරමින් සිටී. මේ වන විට, මෙම සම්බන්ධතාව සක්‍රීය කිරීම සඳහා සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ජපානය ආයෝජන රැසක් සිදුකර ඇත.

මෙම සම්බන්ධතාවය ඊසානදිග ඉන්දියාවෙන් ඔබ්බටද දිවෙන අතර භූතානය, නේපාලය සහ බංග්ලාදේශයද ආවරණය කරයි. මෙම කලාපය තුළ වඩාත් සැළකිව යුතු කැපවීමක් කිරීමට පෞද්ගලික ජපාන ආයෝජකයන් දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, මෙම පෙරමුණෙහි සහයෝගිතාව සමාලෝචනය කිරීමටද ජපානය අපේක්ෂා කරයි.

එසේම ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ වැඩෙන බලපෑමත් සමඟ, යටිතල පහසුකම් සංවර්ධනයෙන් ඔබ්බට පුළුල් කිරීමට අපේක්ෂා කරන, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් පිළිබඳ ජපානයේ නව න්‍යාය පත්‍රය කිෂිඩා විසින් ගෙනහැර දැක්වීමද මෙම සංචාරයේදී සිදුකෙරිණි. ඔහු සිය ඉන්දීය සංචාරය ආරම්භයේදී ‘The Indian Express’ පුවත් සේවයට සිය ඉන්දීය සංචාරය පිළිබඳව පෞද්ගලිකවම ලිපියක් ලියමින් ඒ බව පැහැදිලි කළේය.

“2022 මාර්තු 19 වැනි දින, මගේ පළමු ඉන්දීය සංචාරයේදී, අගමැති නරේන්ද්‍ර මෝදි සහ මම, පවතින ලෝක තත්වයන් බලහත්කාරයෙන්, ඒකපාර්ශ්විකව වෙනස් කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක්, ඉන්දු පැසිෆික් කලාපයේ පමණක් නොව, කිසිදු කලාපයක පිළිගත නොහැකි බව තහවුරු කළෙමු. මෙම ගැටුම් සඳහා අන්තර්ජාතික නීතිය මත පදනම් වූ සාමකාමී යෝජනාවක් සෙවිය යුතුය.

“නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් (FOIP) කලාපයක්” සාක්ෂාත් කර ගැනීම සඳහා වන උත්සාහයන් කඩිනම් කිරීම මගින් වත්මන් තත්ත්වය වඩාත් සාධනීය ලෙස පරිවර්තනය කරගත හැකි බව අපගේ විශ්වාසයයි. මගේ සංචාරය අතරතුර, මම ‘නිදහස් සහ විවෘත ඉන්දු පැසිෆික් සහයෝගිතාව’ (FOIP) පිළිබඳ අදහස් ඉදිරිපත් කරමි.

FOIP යනු ජපානය සහ ඉන්දියාව විසින් බෙදාගත් දැක්මක් වන අතර එය අන්තර්ජාතික ප්‍රජාවේ සහයෝගය සහ අනුමැතිය ලබාගෙන ඇති අතර “ඉන්දු-පැසිෆික්” ප්‍රධාන ප්‍රවාහය නිර්මාණය කිරීමට දායකවී ඇත.

ඇත්ත වශයෙන්ම, FOIP හි දැක්ම උපත ලැබුවේ ඉන්දියාවේදීය. මගේ මෙම සංචාරයේ දී ඉන්දියානු ජනතාව සමඟ “ඉන්දු-පැසිෆික්” අනාගතය ගැන සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙමි.” යැයි ඔහු එම ලිපියේ සඳහන් කර ඇත.

ඉන්දියාව සහ ජපානය 2022 දී සිය 70 වසරක නිල රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය සැමරනු ලැබීය. මෙම සම්බන්ධතාවය “ගෝලීය හවුල්කාරිත්වයක” සිට “විශේෂ උපායමාර්ගික හවුල්කාරිත්වයක්” දක්වා වර්ධනය වී ඇති බව අද වන විට දැකගත හැකිය. අතීතයේ ආර්ථික හවුල්කාරිත්වය මෙම සබඳතාව හැඩගැස්වීමේ කුළුණ වූ අතර, වර්තමානයේ එය ආරක්ෂක හවුල්කාරිත්වය වෙත හුවමාරුවී තිබේ.

විශේෂයෙන් චීන ආතතීන් දෙපාර්ශ්වයටම හිසරදයක් වී ඇති බැවින්, ලෝකයේ මෙම දැවැන්ත ආර්ථිකයන් ද්විත්වය ඒකාබද්ධ වීම ආරක්ෂක උපායමාර්ග ක්‍රියත්මක කිරීමේදී අතිශය වැදගත් වේ.

නායකයන් දෙදෙනා මෙම ස්ථම්භය වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර ඇත. ඒ අනුව බලන විට ජපාන අගමැතිවරයාගේ මෙම ඉන්දීය සංචාරය හුදු ද්විපාර්ශ්වික සබන්ධතා තරකර ගැනීමෙන් ඔබ්බට ගිය කලාපිය සහ ගෝලීය වැදගත්කමකින් යුතු ගමනක් බව අවිවාදයෙන් හඳුනාගත හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?