දියවන්නාවට වැටුණු කාන්තාවක් නාවික හමුදාවෙන් බේරාගනී

බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව මාර්ගයේ සඳුන් උයන ප්‍රදේශයේ දී අද (24) දහවල් දියවන්නා ඔයට ඇද වැටුණු 59 හැවිරිදි කාන්තාවක්, නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායමක් විසින් ක්ෂණික මෙහෙයුමකින් නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා.

දියවන්නා ඔයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ නිලධාරීන් විසින් මෙම කාන්තාව දියේ ගිලෙමින් සිටිනු දැක වහාම ක්‍රියාත්මක වී ඇයව බේරාගැනීමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස බේරාගත් කාන්තාව නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇයව කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.