Rajapura Handi Oil
Rajapura Diabetic Powder

වැටුප් ගැටලු නිසා පාරට බැස්ස බංගලි ඇඟලුම් සේවකයන් පොලිසිය සමඟ ගැටෙයි

වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා විරෝධතාවල නිරත වූ බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා සේවකයන් සහ පොලිසිය අතර යළි ගැටුම් හටගෙන ඇත.

විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති අතර, විරෝධතාකරුවන් ගල්මුල් ප්‍රහාර එල්ල කර වාහන කිහිපයකට ගිනි තබා තිබේ.

එමෙන්ම, ඩකා අගනුවර සහ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානයක් වන මයිමෙන්සිං නගරය යා කරන ප්‍රධාන මාර්ගය ද අවහිර කිරීමට විරෝධතාකරුවෝ පියවර ගත්හ.

සේවකයන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ දැනට පවතින ටකා 12,500ක අවම මාසික වැටුප ටකා 30,000 දක්වා ඉහළ දමන ලෙසයි. එය සියයට 140ක පමණ වැටුප් වැඩිවීමකි.

ආහාර, නිවාස, ප්‍රවාහන සහ සෞඛ්‍ය වියදම් ඉහළ යාම හමුවේ පවතින වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බව සේවකයෝ පවසති.

බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා 4,500කින් 500ක් පමණ මේ වනවිට වසා දමා ඇති බව වාර්තා වේ. මෙම කර්මාන්තය වාර්ෂිකව ඩොලර් බිලියන 38ක ආදායමක් උපයන අතර, සේවකයන් මිලියන හතරකට අධික පිරිසකට රැකියා සපයයි.

සේවායෝජකයන් සහ සේවක නියෝජිතයන් ඇතුළත් වැටුප් මණ්ඩලයේ රැස්වීමක් කල් දැමීමත් සමඟ විරෝධතා උත්සන්න වී තිබේ. එහි මීළඟ රැස්වීම නොවැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිතය.

මේ අතර, කර්මාන්ත කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා බංග්ලාදේශ දේශසීමා ආරක්ෂක බලකාය සිය මුර සංචාර වැඩි කර තිබේ. විරෝධතා නිරීක්ෂණය සඳහා ඩ්‍රෝන යානා සහ ශරීරයට සවි කරන කැමරා ද යොදාගෙන ඇති බව එම බලකාය සඳහන් කරයි.

https://www.aljazeera.com/amp/news/2026/11/17/bangladesh-garment-workers-clash-with-police-in-fresh-protests-over-wages