Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ෂෙයික් හසීනා යළි එන නිසා බංග්ලාදේශයේ ආරක්ෂාව තර කෙරේ

බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා යළි රටට පැමිණීමේ සැලසුමත් සමඟ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එරට ආරක්ෂාව තර කර තිබෙනවා.

ඒ අනුව, රට පුරා අතිරේක පැරා මිලිටරි භට පිරිස් සිය ගණනක් ද යොදවා ඇති බව වාර්තා වනවා.

2024 අගෝස්තු මාසයේ පැවති ආණ්ඩු විරෝධී ජනතා නැගිටීමෙන් පසු ඉන්දියාවට පලාගිය ෂෙයික් හසීනා, ලබන දෙසැම්බර් මාසයේ යළි බංග්ලාදේශයට පැමිණීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර තිබෙනව.

ඒ සඳහා නව විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබාදෙන ලෙස ද ඇය ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තහනම් කර ඇති ඇගේ අවාමි ලීග් පක්ෂයේ සාමාජිකයන් සහ ආධාරකරුවන් විරෝධතාවල නිරත වී සිටිනවා.

පසුගිය දින දහය තුළ දිස්ත්‍රික්ක 28ක පමණ බෝම්බ පිපිරීම් සහ වාහන ගිනි තැබීම් රැසක් වාර්තා වී ඇති අතර, පොලිස් නිලධාරීන් සහ සිවිල් වැසියන් කිහිපදෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.

අඟහරුවාදා රාත්‍රියේ පාලක බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ඝාතනය කර ඇති අතර, සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට බෝම්බයක් ද පුපුරා ගොස් තිබෙනවා.

එමෙන්ම, බදාදා අලුයම දකුණු පිරෝජ්පූර් දිස්ත්‍රික්කයේ බස් රථ දෙකකට ගිනි තැබීමෙන් පුද්ගලයෙකු පිළිස්සී මියගොස් තිබෙනවා.

මේ අතර, නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් විසින් ආරම්භ කරන ලද ග්‍රාමීන් බැංකුවේ ශාඛා සහ කාර්යාල 37කට වැඩි සංඛ්‍යාවක් ද ගිනි තැබීම්වලට හෝ එවැනි උත්සාහයන්ට ලක්ව ඇති බව බැංකුව පවසනවා.

පසුගිය පැය 24 තුළ තහනම් සංවිධානවල සාමාජිකයන් 71 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඩකා පොලිසිය සඳහන් කරයි.
මේ අතර, විදේශගතව සිටින අවාමි ලීග් නායකයන් රට තුළ නොසන්සුන්තාව ඇති කිරීමට සහ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ආධාරකරුවන් පොළඹවන බවට බංග්ලාදේශ රජය චෝදනා කර තිබෙනවා.