කෝටි ගණනක දේපල ආයුර්වේද රෝහලකට පරිත්‍යාග කළ බෝසත් යුවල

අනුන්ගේ දේ කෙසේ හෝ ලබාගැනීමට පොරකන සිද්ධීන් හා විශාල සොරකම් හා මංකොල්ලකෑම් නූතන සමාජයේ බහුල ය. ධනය, බලය හා ආශාවට යටවී ඇති සමාජයක අත්හැරීමේ ගුණාංගය මොනවට පැහැදිලි කරමින් තම කෝටි ගණනක් වටිනා දේපල පොදු මහජනයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැප කළ යුවලක් ගැන පසුගියදා අසන්නට ලැබිණි.

බදුල්ලේ පදිංචි 71 හැවිරිදි බුද්ධදාස සමරජීව සහ 64 හැවිරිදි අයිරන් හිල්ඩා ලියනගේ තම ජීවිත කාලය පුරා වෙහෙස මහන්සිවී ඉපයූ තම ධනය රජයේ ආයුර්වේද රෝහලකට පරිත්‍යාග කළහ.

ආර්ථික අපහසුකම් රැසක් මධ්‍යයේ ජීවිතය ආරම්භ කර ඇති එම යුවල මුහුණ දුන් දැඩි ආර්ථික අපහසුතාව නිසාම දරුවෙක් පිළිබඳ බලාපොරොත්තුද අත්හැර දැමූහ. නමුත් කෙසේ හෝ ජීවන අරගලයට මුහුණ දීමේ දැඩි අධිෂ්ඨානය ඇතිව කටයුතු කළ ඔවුන් අවසානයේ ධනවතුන් වීම තෙක් සිය ජිවිත කතාව බීබීසී සිංහල සේවය සමග බෙදාගත්තේ රටේ යහපත වෙනුවෙන් සමාජය දැනුවත් කිරීමේ අදහසිනි.

“අපි විවාහ වෙන්නේ 1983 අවුරුද්දෙයි. මටත් මහත්තයාටත් රැකියා තිබුණේ නැහැ. මම පාසල් අධ්‍යාපනය විද්‍යා අංශයෙනුත් සැමියා කලා අංශයෙනුත් තමයි හැදෑරුවේ. කෙසේ වෙතත් අපිට ඒ කාලේ හරි හමන් රැකියාවක් තිබුණේ නැහැ. හැබැයි කිසිම දෙයක් අපි කාගෙන්වත් ඉල්ලගෙන ගියේ නැහැ. අපේ උත්සාහයෙන් වගේම දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කළා,” යනුවෙන් අයිරන් හිල්ඩා ලියනගේ බීබීසී සිංහල සේවය සමග පැවසීය.

බදුධදාස සමරජීව කථාවට එක්වෙමින් පැවසුවේ “මට අදහසක් ආවා පලතුරු බීම හදන්න. අපි ජීවත් වුනේ හාලිඇල නගරයේයි. ඒ කාලේ පහසුවෙන් වගේ හොඳ පලතුරු හොයාගන්න පුලුවන්. ජනතාවට හොඳ දෙයක් දීලා සල්ලි හොයන්නයි මට උවමනා වුණේ. ඉතින් මම ඒ දවස් වල මම ම හදා ගත්තු පොඩි උපකරණයකින් පලතුරු අඹරලා බීම බෝතල් හැදුවා. බෝතල් දෙක තුන අරගෙන ගිහින් කඩවලට දැම්මා. ඒවා විකිණුනා. කවුරුත් බීම රසයි කිවුවා. කොහොම හරි ටික කාලෙකින් ව්‍යාපාරය දියුණු කර ගන්න පුලුවන් වුණා.

අයිරන් පැවසුවේ තමා තම ස්වාමිපුරුෂයාට සහය වෙමින් ව්‍යාපාරය දියුණු කර ගැනීමට දැඩි උත්සහයක් ගත් බවයි. ඔවුන් 1986 වසරේදී ආරම්භ කළ සිසිල්බීම ව්‍යාපාරය දිනෙන් දින දියුණු විය.

“කිසිම දෙයක් නැතුව හිටිය අපිට යහමින් මුදල් ලැබුණා. නිසි රැකියාවක් නොතිබුණු අපිට තවත් 25 දෙනෙකුට විතර රැකියා දෙන්නත් පුලුවන් වුණා. වාහනයක් කියන්නේ අපිට හීනයක් කියලයි හිතුවේ. නමුත් අපි ඒ දිනවල ලොරි දෙකක් වගේම වෑන් රථයක හිමිකරුවන් වෙන්න අපිට පුලුවන් වුණා. රට වටේටම අපේ බීම බෝතල් අලෙවි වෙන්න පටන් ගත්තා.”

පසුව විවේකයක් ලබාගැනීමේ අරමුණින් 1998 වසරේදී සියලුම සේවකයින් සමගින් තම ව්‍යාපාරය වෙනත් පුද්ගලයෙකුට අලෙවි කළ බව අයිරන් පැවසුවාය.

“ඊට පස්සේ අපි 2000 වසරේදී බදුල්ලේ පදිංචියට ආවා. ඒ ඇවිත් මමත් සැමියත් විවේකීව ජීවත් වුණා. ඔය කාලෙදි කලින් අපි ළඟ සේවය කරපු බොහෝ පිරිස් අපිව හොයාගෙන ආවා. ඒ ඇවිත් ව්‍යාපාරය නැවත අරගෙන කරන්න කියා ඉල්ලීම් කලා. මොකද ඒ වෙනකොට අපෙන් ව්‍යාපාරය ගත්තු කෙනා හරියාකාරව ව්‍යාපාරය කරගෙන ගිහින් තිබුණේ නැහැ. කොහොම හරි අපි 2000 අවුරුද්දේ නැවත මධුර බීම නමින්ම ව්‍යාපාරය බදුල්ලේ ආරම්භ කලා.”

“අපිට අපේම කියා මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලක තමයි ව්‍යාපාරය නැවත පටන් ගත්තේ. සැමියාට මම නිරන්තරයෙන්ම ශක්තියක් වුණා. කවමදාකවත් ඔහුට තනියෙන් මහන්සි වෙන්න මම ඉඩ තිබ්බේ නැහැ. සැමියත් එලෙසමයි. අපි දෙන්නා බොහෝම සතුටෙන් ජීවත් වුණා. අදටත් අපි දෙන්න සතුටෙන් ඉන්නවා,” යනුවෙන් ඇය පැවසීය.

2003 අවුරුදේදී එස් එල් එස් ප්‍රමිති සහතිකය ලබාගත් එම ව්‍යාපාරය නැවත තිස්දෙනෙකු පමණ ජිවත් කරවන ව්‍යාපාරයක් බවට පත්විණි.

“මේ වෙද්දි අපිට වෙහෙසකාරී බව වැඩිවුණා. මොකද අපි එන්න එන්නම වයසට යනවා. ඉතින් පෙර පරිදි මහන්සි වෙන්න අමාරුයි. අපිට ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදලක් තියෙනවා. ඉතින් සැඳෑ සමය නිදහසේ ජීවත් වෙන්න හිතලා අපි දෙන්නා නැවතත් 2016 අවුරුද්දේදී ව්‍යාපාරය වහලා දැම්මා.”

ව්‍යාපාරවලින් ලැබූ ජයග්‍රහණ පිළිබඳව සතුටින් පසුවන එම යුවළ කිසිවකුට ඇත නොපා පැමිණි දුෂ්කර ගමන ගැන ආවර්ජනය කරන අතරේ කියා සිටියේ, “අපිට අද කෝටි ගණනක දේපලක් තියෙනවා. නමුත් මේ සියල්ලම අපි කවදා හෝ දවසක දාලා යනවා.” යනුවෙනි.

“අපෙන් මේ ගොඩනැගිල්ල විකුණනවාද කියලා අහගෙන බොහෝ පිරිස් එනවා. මොකද කවුරුත් දන්නවා අපිට දරුවන් නැහැ. ඒ නිසා කොහොමත් මේ දේපල විකුණයි කියා හිතෙනවා ඇති. මමත් සැමියත් බොහෝ දුරට මේ ගැන සාකච්ඡා කලා. අපි මියගිය දවසක මේ දේපල වලට මොකද වෙන්නේ කියා කල්පනා කළා.”

“කෝටි ගණනකට මේ දේපල අපිට විකුණන්න තිබුණා. එහෙම කරලා ඕනි නම් මහලු නිවාසෙකට ගිහින් ඉන්න තිබුණා. නමුත් එහෙම කරන්න හිතුනෙම නැහැ. අපිට සල්ලි නෙවෙයි අවශ්‍ය. මොකක් හරි වැදගත් වැඩකට මේ ගොඩනැගිල්ල දෙන්නයි අපි කතා වුණේ.

“අපිට ආරංචි වුණා ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට රෝහලක් සඳහා ගොඩනැගිල්ලක් නැහැ කියලා. මටත් මහත්තයාටත් හිතුණා අපේ මේ දේපල සියල්ලම එම ආයතනයට පවරන්න. මොකද අපිට අහස උසට බලාපොරොත්තු නැහැ. අපිට ඒ කාලේ සල්ලි තිබුණේ නැහැ. අපි සල්ලි හම්බ කලා. නමුත් අපි ගෙනියන දෙයක් නැහැ. ඉතින් ඒ නිසා සසර ගමන කෙටිකරගන්න හිතාගෙන මමත් සැමියත් දෙදෙනාම හරිම ආසාවෙන් වගේම බොහෝම කැමැත්තෙන් අපේ මේ දේපල ආයුර්වේද දෙපාර්තමේන්තුවට පැවරුවා. මේ තුළින් අපේම ජනතාවට කවදා හෝ දවසක ප්‍රයෝජනයක් වේවි කියා අපි විශ්වාස කරනවා.” යනුවෙන් අයිරන් හිල්ඩා ලියනගේ පැවසීය.

මේ වන තෙක් බදුල්ලට නේවාසික ආයුර්වේද රෝහලක් නොතිබුණු බවත් එවැනි රෝහලක අවශ්‍යතාව දැඩිව තිබුණද එය ඉටු කරගත නොහැකිව සිටි අවධියක මෙම යුවළ ජීවත්ව සිටින තෙමහල් නිවස පරිත්‍යාග කළ බව ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ඩිල්මා ප්‍රේමතිලක බීබීසී සිංහල සේවය සමග පැවසීය.

“මෙය උතුම් පිංකමක්. රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත් මෙම තෙමහල් ගොඩනැගිල්ල ආයුර්වේද දෙපාර්තමේන්තුවට භාරදෙන්න මෙම යුවල මේ වන විට කටයුතු කරලා තිබෙනවා.”

ඒ සඳහා අවශ්‍ය ගිවිසුම් මේ වන විට සැකසෙමින් තිබෙන බවත් ගොඩනැගිල්ලේ ඉදිරි තීරණ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරෙන බවත් ඇය වැඩිදුරටත් පැවසීය.

“මොකද මෙම යුවලත් ජීවත් වෙන්නේ මෙම ආයුර්වේද ගොඩනැගිල්ලෙමයි. ඔවුන් දෙදෙනාගේ ජීවිත සම්බන්ධව අප වගකීම භාරගෙන කටයුතු කරනවා. අනාගතයේදී ප්‍රශ්ණ ඇති නොවන ලෙසට කටයුතු කිරීමයි විය යුත්තේ. ඒ සඳහා නීති උපදෙස් ලබාගෙන ගැසට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමටත් එසේත් නැතිනම් කැබිනට් තීරණයක් වුවත් ගැනීමට අප කටයුතු කරනවා,” යනුවෙන් වෛද්‍ය ඩිල්මා ප්‍රේමතිලක පැවසීය.

මේ වන විට ගොඩනැගිල්ලේ පහත මාලයේ ප්‍රතිකාර ආරම්භ කිරීමට අදාළ මූලික කටයුතු සැලසුම් කරමින් සිටින අතර මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ ආයුර්වේදයේ කෙරෙන්නාවූ නාස්‍ය, රක්ත මෝක්ෂණ, නාඩිස්වේද කටී වස්ති, ශීරෝ අභ්‍යන්ග, පාද අභ්‍යන්ග ප්‍රතිකාර ඇතුළු සියලුම ප්‍රතිකාර ආරම්භ කිරීමටත් වෛද්‍යවරුන් පස් දෙනෙක් ඒ සඳහා යොදා ගැනීමටත් කටයුතු යොදමින් තිබේ.

“රෝගීන්ට අදාළ සියලුම ප්‍රතිකාර කෙරෙන්නේ වෛද්‍යවරුන් අතින්මයි. එය මෙම රෝහලේ විශේෂතම සිද්ධියක් ලෙස හඳුන්වන්න පුලුවන්. රෝගීන් විසි පස් දෙනෙකුට (25) මෙහි එකවර ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවන ආකාරයට කටයුතු සකස් කරනවා.” යැයි ඌව පළාත් ආයුර්වේද කොමසාරිස්වරිය පැවසුවාය.

“යාන වාහන, මිල මුදල්, ඉඩකඩම්වලට ආශාවෙන් බොහෝ පිරිසක් කටයුතු කරන අවධියක මෙම යුවල මුළු මහත් ලෝකයටම ආදර්ශයක්. ජීවිතයක් ජීවත් කරවන්නට මොවුන් දෙදෙනා කරනලද පරිත්‍යාගය අපි අගය කළ යුතුයි.” ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

බීබීසී සිංහල පුවත් සේවය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08
Video thumbnail
අර්චුනා එක්ක පොහොට්ටුවටත් වැඩ වරදියි?
03:43
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාව එකම කාලගෝට්ටියක් - සජබ මන්ත්‍රීලා මේස උඩ නැගලා යකා නටයි
03:54
Video thumbnail
අපි මහින්දව රෝද පුටුවකින් ගෙනල්ලා හරි ජනතාවට පෙන්නනවා
11:04
Video thumbnail
රවී සහ ශානිගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
01:48
Video thumbnail
නයි මුගටි පොළොංගුත් එක්ක දැන් කොටීත් එක කොටේට ගොඩවෙනවා
02:09
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:25