කන්දකාඩුවේ බඩ ඉරිඟු වගාව ගැන තීරණය ලබන මස 12 වනදා

පොළොන්නරුව, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි කන්දකාඩු රක්ෂිත වනාන්තර ප්‍රදේශයේ අක්කර 5000ක් එළිපෙහෙළි කොට එම ඉඩම් බඩ ඉරිඟු වගාව සඳහා ජාතික පශු සම්පත් මණ්ඩලය වෙත පවරාදීමට මහවැලි සංවර්ධන අධිකාරිය ගෙන තිබෙන තීරණය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැත්ද? යන තීරණය ලබන මස 12 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියම කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේයි අද කැඳවනු ලැබුවේ.

මෙහිදී පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කළේ කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි අක්කර 5000ක රක්ෂිත වනාන්තර ප්‍රදේශයක් එළිපෙහෙළි කර කෘෂිකර්ම ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අවසර ලබාදී තිබෙන බවයි.

ඒ සඳහා පාරිසරික ඇගයීම් වාර්තා කිසිවක් ලබාගෙන නොමැති බවත් ඔහු චෝදනා කළා.

එළිපෙහෙළි කිරීමට නියමිත ප්‍රදේශය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් එම වාර්තාවට අනුව අදාළ ප්‍රදේශයේ පුරාවිද්‍යා ස්මාරක 110 ක් පමණ තිබෙන බවට අදාළ වාර්තාවෙන් කරුණු අනාවරණය කර ඇතැයි සඳහන් කළ නීතිඥ දාබරේ මහතා කියාසිටියේ හෙළිපෙහෙළි කිරීම් කටයුතු සඳහා අදාළ ප්‍රදේශයේ බර වාහන යොදා ගැනීම තුළින් ප්‍රදේශයේ පස් තට්ටුවලට හානි සිදු විය හැකි බවයි.

එබැවින් අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම පාරිසරික නීති රීතීන්ට පටහැනි ආකාරයෙන් ක්‍රියාත්මක වන බවත් ඔහු අධිකරණය හමුවේ චෝදනා කළා.

එම ඉල්ලීමට අදාල පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටින ජාතික පශු සම්පත් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කේ.ජී. ජිනසේන මහතා විරෝධය පළ කර තිබෙනවා.

මෙම ප්‍රදේශයේ තම සේවාදායකයා විසින් බඩ ඉරිඟු වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව නීතිඥවරයා සඳහන් කළා.

වාර්ෂිකව මෙරටට බඩ ඉරිඟු ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් 635ක පමණ මුදලක් වැය වන බව පෙන්වා දුන් නීතිඥවරයා අවධාරණය කළේ මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හරහා අපගේ විදේශ විනිමය විදේශවලට ඇදී යාම වළක්වා ගත හැකි බවයි.

කිසිදු සාධාරණ පදනමක් නොමැතිව පරිසර සංවිධාන විසින් මෙවැනි නඩු පැවරීම නිසා ජාතික ආර්ථිකයට විශාල අගතියක් සිදුවන බවත් ඔහු චෝදනා කළා.

යුද්ධය ඇරඹීමට පෙර මෙම ප්‍රදේශයේ ගොවිපලක් පැවති බව පෙන්වා දුන් නීතිඥවරයා යුද්ධය පැවති සමයේ ඒවා අතහැර දැමීම නිසා වනගත ප්‍රදේශයක් බවට පත්වූ බවත් එය සංරක්ෂිත කලාපයක් ලෙස රජය විසින් ගැසට් කර නොමැති බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙම ප්‍රදේශය එළිපෙහෙළි කිරීම නිසා අලිමංකඩක් විනාශ වී යන බව පෙත්සම්කරු ප්‍රකාශ කළත් ඒ වෙනුවට විකල්ප අලිමංකඩක් නිර්මාණය කිරීමට වගඋත්තරකරුවන් කටයුතු කරන බවත් නීතීඥ ජිනසේන මහතා වැඩිදුරටත් කරුණු දක්වා තිබෙනවා.

එම අවස්ථාවේදී අභියාචනාධිකරයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විමසා සිටියේ අලි ඇතුන්ගේ ගමනාගමන කටයුතු සඳහා විකල්ප අලිමංකඩක් නිර්මාණය කරන බව සඳහන් කළත් නිර්මාණය කරන විකල්ප අලිමංකඩ හරහා අලි ඇතුන් ගමන් කරනු ඇති බවට විශ්වාස කරන්නේ ද යන්නයි.

මෙහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් රජයේ නීතිඥවරිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් සඳහන් කළේ මෙම නඩුවට අදාළව ඉදිරිපත් කර තිබෙන ඡායාරූප පිරික්සීමේදී අදාළ ප්‍රදේශයේ මේ වනවිටත් ගස්කපා හෙළිපෙහෙළි කිරීම් සිදුකර තිබෙන ආකාරයක් පෙනී යන බවයි.

පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබා ගැනීමකින් තොරව අදාළ ප්‍රදේශයේ හෙළිපෙහෙළි කිරීම් සිදු කළේ කෙසේදැයි ප්‍රශ්න කළ විනිසුරුවරයා එවැනි නීති විරෝධී ක්‍රියාවන් සිදුකළ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන තිබේදැයි ප්‍රශ්න කළා.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ රක්ෂිත වනාන්තර ප්‍රදේශ සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවීමට අවශ්‍ය අනුමැතිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට බලයක් නොමැති බවයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය ද කියා සිටියේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ජාතික ආර්ථිකය ආරක්ෂා කරනවා සේම පරිසර නීති ද ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්ව වග බලාගත යුතු බවයි.

මේ සම්බන්ධයෙන්ම තමන්ට වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය අතර ඒ සඳහා කාලය ලබා දෙන ලෙස රජයේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගය කිරීම සඳහා අවසර දෙන්නේ ද? නැද්ද? යන තීන්දුව පෙබරවාරි මස 12 වනදා ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23