ශ්‍රී ලංකාවේ නිරිත දෙසින් ජාත්‍යන්තර මුහුදේ අතරමං වී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයීම සිදුකළ හොත් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමක් සිදුකරන බවට එක්සත් ජනපදය විසින් අනතුරු අඟවා ඇති බවට වාර්තා පළවනවා.
එලෙස පළවන වාර්තා සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර රොඩ්රිගෝ සඳහන් කරන්නේ, මෙම ඇමරිකානු ද්විතීයික සම්බාධක යනු කිසියම් විශේෂ රටක් හෝ ශ්‍රී ලංකාව ඉලක්ක කර පනවන ලද්දක් නොවන බවයි.
එය ලොව පුරා පොදුවේ ක්‍රියාත්මක වන ඇමරිකාවේ සාමාන්‍ය ගෝලීය ප්‍රතිපත්තියක් බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ.
චීනය වෙත තෙල් ප්‍රවාහනය කිරීමේ වෙළඳාමට සම්බන්ධ වූ ඉරාන හෝ ඉරානය හා සම්බන්ධ නෞකා රැසක්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව එක්සත් ජනපදය විසින් නැවතත් අවහිරතා පැනවූ පසුගිය ජූලි මාසයේ සිට ශ්‍රී ලංකාව සහ මැලේසියාව වැනි ආසියානු රටවල් ආසන්න මුහුදු තීරයේ අතරමංව සිටිනවා.
ඒ, අනුව ශ්‍රී ලංකාවට නිරිත දෙසින් ජාත්‍යන්තර මුහුදේ ඉරාන නෞකා 20ක් පමණ නවතාගෙන ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ආහාර, ඉන්ධන සහ පානීය ජලය සපයා ගත නොහැකි තත්ත්වයක් මේ වනවිට මතුව තිබෙනවා.










