spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපනයන ආදායම දෙගුණ කරගත හැකි ක්‍රමයක් ගැන ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණයක්

අන්තර්ජාතික ආයතනයක් මඟින් රජය වෙත ලබා දී තිබෙන වාර්තාවකට අනුව, දැනට ඩොලර් බිලියන දහයක පමණ සීමාවේ තිබෙන ශ්‍රී ලංකාවේ අපනයන ආදායම දෙගුණයක් එනම් ඩොලර් බිලියන විස්ස දක්වා වැඩි කිරීමේ හා අපනයන ආදායමේ ශුද්ධ බලපෑම බිලියන 8.6 දක්වා වර්ධනය කර ගැනීමේ හැකියාවක් තිබෙන බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

එම වාර්තාව මගින් මෙරට තුළ අපනයන දිරිමත් කරන විධිමත් තීරුබදු ප්‍රතිපත්තියක් පැවතීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.

මෙරටට භාණ්ඩ ආනයනය කිරීමේදී ආයෝජන භාණ්ඩ, අතරමැදි භාණ්ඩ හා පරිභෝජන භාණ්ඩ ලෙස භාණ්ඩ ආනයනය කරන බවත්, ඒ සඳහා විවිධ තීරුබදු අනුපාත අය කරන බවත් මෙහිදී අනාවරණය කෙරුණා.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව ඔක්තෝබර් 18 වැනිදා එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.

එහිදී ආනයන තීරුබදු ප්‍රතිපත්තිය හා ශ්‍රී ලංකා රේගුවේ හිඟ බදු සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ කාරක සභාව විසින් විමර්ශනය කරනු ලැබුවා.

විශේෂයෙන්ම අභ්‍යන්තර බදු හා දේශසීමා බදු යන බදු දෙවර්ගය ගැන සළකා බලා, දැනට පවතින HS CODE (Harmonized Commodity Description and Coding System) 8200ක පමණ ප්‍රමාණය ද සැළකිල්ලට ගෙන අපනයන ආදායම වැඩිකර ගැනීම සඳහා මෙම තීරුබදු ප්‍රතිපත්තිය සැකසිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව විධිමත් ප්‍රතිපත්තියක් සකස් කිරීමට කාරක සභාව මුදල් අමාත්‍යාංශය වෙත නිර්දේශ කළා.

විශේෂයෙන්ම රත්තරන් හා දුරකථන වැනි වටිනා භාණ්ඩ නීතිවිරෝධී අන්දමින් මෙරටට ගෙන්වීමේ දී එම භාණ්ඩ රාජසන්තක කොට එහි වටිනාකම මෙන් තුන් ගුණයක බදු අයකර ගැනීමට රේගුවට නීතියෙන් ඉඩකඩ තිබුණ ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඇති අභිමතය භාවිත කොට එම දඩ ප්‍රමාණය අය කර නොගැනීම පිළිබඳ කාරක සභාව විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා සිටියා.

ඒ, අනුව දැනට 100% ක දඩ අයකර ගැනීම සඳහා නියෝගයක් ලබා දී තිබෙන බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර සිටියා.

එමගින් පුද්ගලයන් දසදෙනෙකුගෙන් රුපියල් මිලියන 292ක දඩ මුදල් අය කර ගෙන ඇති බව ද එහිදි අනාවරණය වුණා.

එම භාණ්ඩ සඳහා රේගුව මගින් තුන් ගුණයක දඩ මුදල් අය කර නොගැනීම මගින් රජයට අහිමි වී ඇති ආදායම ගණනය කර කාරක සභාව වෙත වාර්තා කරන ලෙස කාරක සභාව ශ්‍රී ලංකා රේගුවට නිර්දේශ කළා.

එමෙන්ම, රේගු බදු ආදායම ලෙස ලැබිය යුතු රුපියල් බිලියන 58ක මුදල අයකර ගැනීම සඳහා විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන වහාම පියවර ගත යුතු බව අවධාරණය කළ සභාපතිවරයා, මේ අයවිය යුතු බදු ආදායම රේගුවට සහ ඒ හරහා භාණ්ඩාගාරයට නොලැබෙන්නේ මන්ද යන්න නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියා.

නීති විරෝධීව කරුංකා ආනයනය කොට ප්‍රති අපනයනය කිරීම පිළිබඳ ගැටලුවේ දී ශ්‍රී ලංකාවේ කරුංකාවලට (පුවක්වලට) පකිස්ථානය හා ඉන්දියාව වැනි රටවල විශේෂ ඉල්ලුමක් පවතින බවත්, මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 4000කට පමණ මුදලකට අලෙවි කළ හැකි නමුත් ඉන්දුනීසියාව, මැලේසියාව හා මියන්මාරයෙන් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 750-900කට කරුංකා ගෙන්වමින්, ඒවා ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කළ බව අඟවමින් අධික ලාභයකට ප්‍රතිඅපනයනය බවත්, කාරක සභාව හමුවේ අනාවරණය වුණා.

මෙමගින් ශ්‍රී ලංකාවේ කරුංකා ව්‍යාපාරිකයන්ටත් ගැටළුවක් ඇති වීමට අමතරව මෙම පිරිස මෙසේ දැවැන්ත ලාභයක් උපයන බවද වාර්තා වුණා.

දැනට මෙවැනි කන්ටේනර් 100 කට ආසන්න ප්‍රමාණයක් (කරුංකා මෙට්‍රික්ටොන් 1493ක්) රඳවාගෙන තිබෙන බවත්, 35%ක වටිනාකම එකතු කිරීම මගින් කරුංකා ප්‍රතිඅපනයනය කිරීමට තීරණයක් ගෙන ඇති බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමට සහ ප්‍රතිඅපනයනයට මුවා වී මෙට්‍රින් ටොන් එකකින් ඩොලර් තුන්දහසක පමණ වංචාවක් සිදුවන බැවින් එය වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරක සභා සභාපතිවරයා මෙහිදී ශ්‍රී ලංකා රේගුවට නි‍ර්දේශ කරනු ලැබුවා.

රටට විදේශ විනිමය එවන අපේ විදේශගත ශ්‍රමිකයන් සඳහා විදුලි මෝටර් රථ ගෙන්වීමේ අවස්ථාවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ලබා දී ඇති අතර, විදේශ ප්‍රේෂණ මෙරටට එවීම දිරිමත් කිරීමේ අරමුණින් රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිය අවභාවිතා කර බිලියන 1.2කට ආසන්න වටිනාකමකින් යුතු එවැනි විදුලි මෝටර් රථ 119ක් ආනයනය කර ඇති බවත් ඉන් වාහන 75ක්ම එක් ආයතනයක් මගින් ආනයනය කීරීම මගින් මෙම ක්‍රියාවලිය අවභාවිත වී ඇති බව කාරක සභාව විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම, මෙම වාහන ආනයනය කිරීමට ප්‍රථම එම බලපත්‍ර අලෙවි කිරීමට මෙම ජාවාරම්කරුවන් කටයුතු කරන බවත්, වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 250,000ක් වන විට බලපත්‍රය අලෙවි කිරීම සඳහා රුපියල් මිලියන 5 ක තීරු බද්දක්දක් මොවුන් විසින් අය කරනු ලබන බවත් එහිදි අනාවරණය වුණා.

මෙම ජාවාරම්කරුවන් මෙමගින් විශාල ආදායමක් උපයන අතර රජයට ලැබිය යුතු බදු ආදායම ද අහිමි වීමක් සිදුවනබව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

විදුලි මෝටර් රථ ගෙන්වීමට ලබා දී තිබෙන මෙම බලපත්‍රය භාවිතා කොට රටට අනියම් ලෙස, විදුලි මෝටර් රථ ගෙන්වා, ඒවා අලෙවි කිරීමේ වංචනික ක්‍රියාවලියක් සිදු වී ඇති බව අදාළ විමර්ශනයේ දී පැහැදිලි වූ බව කාරක සභා සභාපතිවරයා ප්‍රකාශ කළා.

ඒ, නිසා එය වහාම නතර කිරීමටත්, අදාළ විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබිය යුතු ප්‍රතිලාභය අයථා ආකාරයෙන් භාවිත කළ අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද සභාපතිවරයා මෙහිදී නියෝග කළා.

මෙම වාහන සඳහා නිසි පරිදි තීරු ගාස්තු අය කළේ නම් රටට ලැබිය යුතු ආදායම ගණනය කරන ලෙස ශ්‍රී ලංකාරේගුව වෙත නි‍ර්දේශ කළ සභාපතිවරයා විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් ලබා දී තිබෙන මේ

බලපත්‍රය විධිමත්ව භාවිත කිරීම පිළිබඳ කම්කරු හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍යාංශයත්, මුදල් අමාත්‍යාංශයත් එක්ව කටයුතු කළ යුතු බවට ද නිර්දේශ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?