මුහුණු පොතෙන් කාන්තාවන් හා ළමුන්ගේ අසභ්‍ය ඡායාරූප විකිණූ තරුණයාට ඇප

සමාජ මාධ්‍ය ඔස්සේ වසර 02ක සිට ⁣මුහුණු පොත හරහා ගිණුමක් සාදා දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අසභ්‍ය ඡායාරූප විකිණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි ඊයේ (28) නියෝග කළා.

ළමා හා කාන්තා කාර්යාංශය විසින් අධිකරණයට කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.

වයස අවුරුදු විසි දෙකක් වයසැති තරුණයකු මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ළමා කාන්තා කාර්යාංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමාලි ශරෝමාලි ඇතුළු නිලධාරීන් පවසා සිටියේ, මෙම සැකකාර තරුණයා විසින් අවුරුදු දෙකක් තිස්සේ සමාජ මාධ්‍ය භාවිත කරමින් මෙලෙස කාන්තාවන්ගේ සහ දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ විකුණා මුදල් උපයා ඇති බවයි.

මෙම සමාජ මාධ්‍ය ගිණුමේ මේ වන විට 8,000කට අධික පිරිසක් දක්නට ලැබෙන බවයි ළමා හා කාන්තා කාර්යාංශය දන්වා සිටියේ.