තායිලන්තයේ ඉදිකිරීම් දොඹකරයක් ධාවනය වන දුම්රියක් මතට කඩා වැටීමෙන් සිදු වූ දරුණු අනතුරින් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට වේලාවෙන් අද (14) පස්වරු 2.00ට පමණ සිදු වූ මෙම අනතුරින් තවත් පුද්ගලයින් 66 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූවන් අතර අවුරුද්දක් වයසැති දරුවෙකු සහ 85 හැවිරිදි වයෝවෘද පුද්ගලයෙකු ද සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
තායිලන්ත බලධාරීන් පවසන්නේ තුවාල ලැබූවන්ගෙන් හත් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ දී දුම්රියේ මගීන් 171 දෙනෙකු පමණ සිටි බවයි නිලධාරීන් පවසන්නේ.
තායිලන්ත රාජ්‍ය දුම්රිය සේවය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, දොඹකරයට වගකිව යුතු ඉදිකිරීම් සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි නිවේදනය කර ඇත්තේ.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය බැංකොක් සිට ඊසානදිග උබොන් රට්චාතානි පළාතට ගමන් කරමින් තිබූ බවයි වාර්තා වන්නේ.



