අශිකා මතසිංහට ටෙලිනාට්‍ය වගේම වෙළෙඳ දැන්වීම් බොහොමයකම නිරූපනයෙන් දායක වුණ දක්ෂ රංගන ශිල්පිනියක්. දරුවන් තිදෙනකුගේ වැඩ රාජකාරි දෙවුර දැරීම නිසාම නිතර රඟපෑම් කටයුතුවල නිරත නොවූවත්, රඟදක්වන සෑම චරිතයකින්ම ඔබේ හදවතේ ලැඟුම් ගත් ඇය රඟපෑමට වගේම ඉවුම් පිහුම් කටයුතු කරන්නත් දක්ෂ ගෘහිණියක්. ‘‘ලස්සන කුස්සිය’’ අද හැඩ වන්නේ ඇගේ නිවසේ සිටය.
• දරුවො තුන්දෙනාගෙම වැඩ කටයුතු නිසා තරමක් කාර්ය බහුල ඇති නේද?
ඔව්…. ඒත් හැමදේම සතුටින් කරනවා. දුවයි පුතාලා දෙන්නයි පොඩි නිසා එයාලගේ හැම දෙයක්මයි, නිවසේ සියලු දේයි කෑම බීම පිළියෙල කරන එකයි නිරතුරුවම කෙරෙන්නේ මගේ අතින්. මොනතරම් කාර්ය බහුල වුණත් ඒ දේවල් මගේ අතින්ම කරනවා.
• ඔච්චර වැඩ කන්දරාවක් කරන්න උදේ කීයට ද නැගිටින්නේ.
හැමදාම උදේ පහ හෝ පහයි තිහ වෙද්දි නැගිටිනවා. නැත්නම් දවසේ වැඩ ටික කරගන්න වෙලාව මදි.
• නැගිට්ට ගමන් මොකද කරන්නේ?
පළමුවන කාර්යය තමයි රාත්‍රී ඇඳුම් ඉවත් කර ඇඟ හොඳට පිරිසිදු කරගෙන ගෙදරට අඳින ඇඳුමක් අදින එක. මම අන්තර්ජාලයේ කියවපු ලිපියක තිබුණා රෑට අඳින ඇදුමෙන් අපි උදෑසන කාලයේදී දවස ඇරඹීම අසුබ දෙයක් බව. ඒ නිසා මගේ දුවට වගේම පුතාලා දෙන්නටත් උදෑසන අවදි වුණ ගමන් පිරිසිදු වෙලා ඇඳුමක් අඳින්න පුරුදු කරලා තියෙන්නේ. ඇත්තටම රාත්‍රී ඇඳුමෙන් උදෑසන දවස ආරම්භ කරනවා කියන්නේ අපිට වගේම අපිව දකින අනිත් අයටත් අප්‍රසන්න දර්ශනයක් විදිහටයි මම දකින්නේ.
• ඊට පස්සේ?
ඊට පස්සේ තමයි ලොකු වතුර වීදුරුවක් බීල, හැමෝටම තේ හදල දවස ආරම්භ කරන්නේ.
• ඔයා හදන කෑමවලින් ළමයි වැඩිපුර කන්න ආස මොනවටද?
එයාලා හරිම ආසයි මම උදේට හදන කඩල තෙම්පරාදුවට. ඊට අමතරව ඉතින් මම හදන කිරි රොටී, පොල් රොටී, චිකන් කරිය වගේම ගෙදරම හදන ඉඳිආප්ප, පිට්ටු, බිත්තර රොටී කන්නත් හරිම ආසයි. මම විශේෂ විදිහට හදන පරිප්පුවට නම් මහත්තයයි, ළමයිනුයි වගේම ගෙදරට කෑමට එන හැමෝම වගේ හරිම කැමතියි.
• මොකක්ද විශේෂත්වය?
පරිප්පුව තෙම්පරාදු කරනකොට සීනි පොඩ්ඩක් දානවා. ඒක තමයි රහස. හදලා බලන්නකෝ…. පාන්, ඉඳිආප්ප එක්ක හොඳට ගැලපෙනවා. හරිම රසයි.
• කෑම රස වෙන්න අත්ගුණයත් බලපානවාද?
ඔව්. මම විශ්වාස කරනවා ආදරයෙන්, සෙනෙහසින් හදන කෑම එකකට අත් ගුණය කියන දෙයත් වැදගත් කියලා.
• ඉස්සර ඉඳලම හොඳට උයන්න පුළුවන්ද?
මම විවාහ වෙලා ගෙදරින් එනකන්නම් අම්මා මට උයන්න දුන්නේ නෑ. දියණිය කියන කෙනාට විවාහයත් එක්ක උයන පිහන කටයුතුවල වගකීම ඉබේම පැවරෙන නිසා වෙන්න ඇති අම්මා මාව ඒ කාලේ වෙහෙස නොකරන්න ඇත්තේ. කොහොම නමුත් ටික ටික රසට කෑම හදන්න පුරුදු වුණා. සමහර කෑම හදන්නේ අම්මා ඉස්සර උයන විදිහ මතකයේ තියන්.
• උයන එක වදයක් කියලා දැනිලා නැද්ද?
නැහැ. මගේ දරුවන් වෙනුවෙන්, මගේ මහත්තයා වෙනුවෙන් කෑම පිළියෙල කරන්නේ. මේක ආදරෙන් හදන්න ඕනේ. එයාලා ආසම විදිහට හදන්න ඕන කියලා හිතනකොට මොනතරම් මහන්සියක් තිබුණත් උයන පිහනකොට වෙහෙසක් දැනේනේ නෑ. ඒක හරිම ආදරණීය අත්දැකීමක් විදිහටයි මම දකින්නේ. මොනතරම් අපහසුතා තිබුණත් මම ම කෑම ටික හදලා දෙන්න ඕනේ කියලා හිතනවා.
• උයන පිහන කටයුතුවලට මහත්තයා උදව් කරනවද?
මහත්තයා ගුවන් හමුදාවේ සේවය කරන්නේ. ගෙදර ඉන්න කාලයනම් හරිම අඩුයි. කොවිඩ් එක්ක තවත් කාර්ය බහුල වෙලා. ඒත් එයා ගෙදර ඉන්න වෙලාවට පොල් ගාලා දීලා හරි මට උයන්න උදව් කරනවා. නැත්නම් උයන වෙලාවට කුස්සියට වෙලා මගේ ළඟ ඉන්නවා.
• ඔයා උයන කෑමවලින් මහත්තයා කන්න කැමතිම මොනවද?
මොන කෑම හදලා දුන්නත් රසයි කිය කියා කනවා. සමහර දවස්වලට කෑමවලට ලුණු එහෙම අඩුවෙලා තියෙනවා. ඒත් කවදාවත් මට වචනයක් කියන්නේ නෑ. හැමදාම කෑම කාලා කියන්නේ ‘‘අදනම් කෑම හරිම රසයි’’ කියලා. බැඳපු දවසෙ ඉඳලා එයා ඒ විදිහට මාව අගය කරනවා. ඒක නම් මම හිතනවා මම ලබපු ලොකු ත්‍යාගයක් කියලා. සමහර වෙලාවට මම ගොඩක් සතුටින් ඉන්න වෙලාවට කුස්සියට ඇවිත් කියනවා ‘‘සතුට වැඩිකමට අද තේ එකට සීනි නම් වැඩි කරන්න එපා කියලා’’
• මුළුතැන් ගෙයි ඉන්නකොට රේඩියෝ අහන්න හරි ටී.වී. බලන්න හරි පුරුදු වෙලා ඉන්නවද?
මම ගොඩක් වෙලාවට යූටියුබ් එකේ බණ එහෙම ඩවුන්ලෝඩ් කරන් ඒ වෙලාවට අහනවා. ඊට අමතරව වැදගත් කියලා හිතෙන දේවල් උයන වෙලාවට අහනවා. දුවයි පුතාලා දෙන්නයි පාසල් යන දවස්වලට තමයි මේ වගේ විවේකීව උයන්නේ. එහෙම නැතිනම් ඉතින් උයන ගමන් වොෂින් මැෂින් එකට රෙදිත් හෝදන්න දානවා. බබාලා ඉස්සරහා ඉන්නවා නම් එයාලවත් බලනවා. වැඩ ගොඩක් කරන ගමන් තමයි උයන්නේ.
• සාමාන්‍යයෙන් කුස්සියේ රැඳෙන වෙලාව අඩු කර ගන්න මොනවද කරන්නේ?
ගොඩක් වෙලාවට කලින් දවසේ ඒ වෙනුවෙන් සූදානම් වෙනවා. එළවළු කපලා තියනවා. දියකිරි, මිටිකිරි වෙනම අරන් ෆිජ් එකේ දාලා තියනවා. මැල්ලුම් එහෙම කලින් කපලා සෞඛ්‍යාරක්ෂිතව අසුරා තිබෙනවා. ඒවගේ දේවල් ටිකක් කරනවා. ඊට අමතරව මම උයද්දි ව්‍යංජන ඒදන්නේ උණුවතුරෙන්. පොල් කිරි මිරිකන්නේ උණුවතුරෙන්. එහෙම වුණාම ව්‍යංජනය හරි ඉක්මනට හදාගන්න පුළුවන්. මේක මගේ පහසුව නිසාම හදා ගත්ත දෙයක්. මේ කරන වැඩේ හොඳ ද නරකද කියලා නම් දන්නේ නෑ.
• අම්මා කෙනෙක් විදිහට උයනකොට මොනවද මතක් වෙන්නේ?
දරුවන්ගේ නිරෝගීකම රැඳිලා තියෙන්නේ මම ලබාදෙන පෝෂණය මත කියලා හැම තිස්සෙම හිතෙනවා. ඒ නිසා හොඳම දේ දරුවන්ට දෙන්න නිතරම උත්සාහ කරනවා. හැමදාම බත ලිපේ තියද්දි මට අම්මාව මතක් වෙනවා. ඒක ඇයි එහෙම වෙන්නේ කියලා මටත් තේරෙන්නේ නෑ. අම්මාට කවදාවත් බඩගින්නක් දැනෙන්න එපා කියලා හිතනවා. මම අද දරුවන්ව ආදරෙන් පෝෂණය කරනවා වගේ එදා අම්මත් මාව දීග දෙනකම්ම පෝෂණය කළා කියලා මතක් වෙනවා. දරුවො නිදුක් වෙන්න ඕනේ. නිරෝගී වෙන්න ඕනෙ කියන සිතුවිල්ල පාවා දැනෙනවා.
• අරපිරිමැස්ම ගැන කොහොමද හිතන්නේ?
ඒ ගැන නම් මම ගොඩක් හිතනවා. වතුර ටිකක්වත් අපතේ යනවාට පොඩ්ඩක්වත් කැමති නෑ. ඊට අමතරව මුළුතැන්ගෙයි හාල්, තුනපහ, එළවළු, මස් මාළු ගන්න එක පවා අහක නොයන පරිදි අවශ්‍ය විදියටම කරනවා. තව දෙයක් තමයි මුළුතැන්ගෙයි පොඩි මුට්ටියක මම කඩේට ගිහින් ඉතුරු වෙන කාසි එකතු කරලා තියනවා. ඒ කාසි ආයේ උවමනා වෙලාවට පාවිච්චි කරනවා.
අසුන්තා එදිරිසූරිය
සිතුවම: සමන් කළුබෝවිල