AFC Banner
Empty Ad
Empty Ad

ගල්කිස්සේ ටැටූ කෙටූ හැටි… පෙට්ටි හයක රාමු කළ අජීවී කෘමි සතුන් 106 ක්

දත් විලිස්සා ගත් කොටියෙකුගේ මුහුණක්, ගෝනුස්සෙකුගේ හෝ වෙනත් විසකුරු සත්ව රූපයක් තම ශරීරයෙහි ”පච්චයක්” ලෙස කොටාගත් පුද්ගලයන් දැනට දශක කීපයකට එපිට සමාජය තුළ නිතර නිතර දැකගත හැකි වූහ. ඔවුන් දෙස බැලීමට පවා ඇතැමුන් බියවූහ. බැල්මෙන් පවා බිය උපදවන සුළු පෙනුමෙන් යුක්ත එවැනි පුද්ගලයන් තරමක දාමරික ගති ලක්ෂණවලින් යුත් පිරිසක් බව එකල පැවති මතයක් විය. ඊට අමතරව ‘‘අම්මා බුදු වේවා” යනුවෙන් සඳහන් පච්චයද කලකට ඉහත මෙරට බෙහෙවින් ජනප‍්‍රිය විය. එම පච්චය කොතරම් ජනප‍්‍රිය වීද යත් ඒ සම්බන්ධව අද පවා බොහෝ දෙනෙක් කතාබහ කරනු ලබන කරුණක් බවට පත්ව ඇත්තේ මෙරට පච්ච කලාව තුළ ‘‘අම්මා බුදු වේවා” යනුවෙන් සඳහන් පච්චය තරම් ඉහළම ජනප‍්‍රියත්වයට පත්වූ දෙයක් මෙරට පච්ච කලාව තුළ තවමත් බිහි නොවූ බවක්ය.

  මේ වන විට කාලය තම තාලය වෙනස් කරමින් හැල්මේ ගමනකය. එහි ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ දේ විවිධ විපර්යාසයන්ට ලක් වෙමින් ඇත. පච්ච කලාවටද එම වෙනස්කම් හමුවේ නොවෙනස්ව පැවතීම අභියෝගයක්ය. පච්චය යටපත් කරමින් ‘‘ටැටු කලාව” ඉස්මතු වන්නේ ඒ අනුවය. මේ වන විට ශරීරාලංකාරය පිණිස ටැටුවක් හෝ කීපයක් කොටා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ඒ සඳහා සේවා හා පහසුකම් සපයන ස්ථාන ද බොහෝය. නවීනතම තාක්ෂණය, සුවපහසුව, විවිධ මෝස්තර ආදියෙන් යුත් එවැනි මධ්‍යස්ථාන කොළඹ හා ඒ අවට බහුලව දැකගත හැකි අතර මේ වන විට ගම් නියම් ගම් කරාද එම පහසුකම් ගමන් කොට හමාරය.

 ටැටූ කලාව පිළිබඳව ඉහත කෙටි විස්තරය සපයන ලද්දේ ගල්කිස්ස මංසන්ධියේ පිහිටි එක්තරා ටැටූ මධ්‍යස්ථානයක් පිළිබඳව පසුගිය දිනවල සමාජය තුළ යම් කතා බහක් ඇතිවීම හේතු වෙන්ය. ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ නමක් දිනා ගැනීමට සමත් එම ස්ථානය පිළිබඳව එවැනි කතාබහක් නිර්මාණය වන්නේ ටැටූ කෙටීම සම්බන්ධ කරුණක් මුල්කරගනිමින් නොව ඊට හාත්පසින්ම වෙනත් සිදුවීමක් හේතුවෙන්ය. එක්තරා අවස්ථාවක බෙල්ලන්විල අත්තිඩිය පිහිටි වනජීවී අඩවි කාර්යාලයට ලැබන එක්තරා තොරතුරකින් කියැවී ඇත්තේ ගල්කිස්ස ගාලූ පාරේ පිහිටි ඉහත සඳහන් ටැටු මධ්‍යස්ථාන හිමිකරු විසින් ආනයනික සත්ව විශේෂ කිහිපයක් සහ අජීවී සත්ව කොටස් රාශියක් නීති විරෝධී ආකාරයෙන් සන්තකයේ තබා ගෙන සිටින බවය. ඒ අනුව ක‍්‍රියාත්මක වන වනජීවී නිලධාරීන් පිරිසක් එම ස්ථානය මුල්කරගනිමින් හදිසි වැටලීමක් සිදුකරන අතර එහිදී ඔවුන්ට ආනයනික ඇලි ඉබ්බෙක්, ග‍්‍රීන් ඉගුවානා උරගයෙක්, විල් මුවා අං තට්ටුවක්, ගෝන අං තට්ටුවක්, ලංකා සිතියම් බෙල්ලකුගේ කවචයක්, තල් මස් කශේරුක අස්ථි කොටසක්, වඩු කුරුලූ කූඩුවක්, සී ෆෑන් වර්ගයට අයත් කොරල් ශාකයක් ඇතුළු අජීවී කෘමි සතුන් 102ක් අඩංගු ඇසුරුම් හයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත. එහිදී අත්අඩංගුවට ගන්නා ලද ජීවී සතුන් හා අජීවී සත්ව කොටස් ඉකුත් 22 දා ගල්කිස්ස මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නට කටයුතු කර තිබුණු අතර එහිදී ගල්කිස්ස අතිරේක මහෙස්ත‍්‍රාත් චන්දිම ලියනගේ මහතා විසින් ජීවී සතුන්හි දෙහිවල සත්වෝද්‍යානයටත් අජීවී සත්ව කොටස් වනජීවී දෙපාර්තමේන්තුව භාරයටත් යොමු කරන ලෙස නියෝග කොට ඇත. ජීවී සතුන් හා අජීවී සත්ව කොටස් නීති විරෝධී ආකාරයෙන් සන්තකයේ තබා ගැනීම හෝ පාලනය කිරීම යන චෝදනාා යටතේ අදාළ සැකකරුට රුපියල් 375,000ක දඩයක්ද නියම කිරීමටද එහිදී මහෙස්ත‍්‍රාත්වරයා විසින් එහිදී කටයුතු කර ඇත. ඒ අනුව ගෝන අං තට්ටුවක් පාලනයේ හෝ සන්තකයේ තබා ගැනීම වෙනුවට රු.50,000ක් විල්මුවා අං තට්ටුවක් පාලනය හෝ සන්තකයේ තබා ගැනීම වෙනුවට රු.25000ක් ඉහත චෝදනා යටතේම වඩු කුරුලූ කූඩුව සඳහා රු.25000ක් සී ෆෑන් කොරල් ශාකය සඳහා රු. 25000ක් තල් මස් කශේරුක අස්ථි කැබැල්ල සඳහා රු.25000ක් ලංකා සිතියම් බෙල්ලෙකුගෙ කවචය සඳහා රු. 25000ක් සහ විදේශික ඇලි ඉබ්බෙකු සඳහා රු.75000ක් ග‍්‍රීන් ඉගුවානා උරගයකු සඳහා රු. 75000ක් ඇතුළු අජීවී කෘමි සතුන් සඳහා රු.50000ක දඩ මුදලක් ගෙවන ලෙස අදාළ සැකකරු වෙත මහෙස්ත‍්‍රාත්වරයා විසින් නියෝග කොට ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්ෂ නීතිඥ ලලිත් කුමාර මහතාගේ උපදෙස් මත බෙල්ලන්විල අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක සමන් ලියනගම වන සත්ව අඩවි ආරක්ෂක ජානක යන මහත්වරුන් හා වන සත්ව අඩවි සහකාර එරංග රත්නායක වන සත්ව නියාමක යසන්ත සොයිසා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදු කොට ඇත. ඒ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් බෙල්ලන්විල අඩවි ආරක්ෂක කාර්යාලය වන සත්ව අඩවි ආරක්ෂක සමන් ලියනගම මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ලද්දේ මේ ආකාරයෙන්ය. ‘‘ලෝකයේ අනෙකුත් රටවල් එක්ක ගත්තොත් අපේ රට තියෙන්නේ ජෛව විවිධත්වය අතින් ඉහළම ස්ථානයක තිබෙන රටක්. අපේ මිනිස්සු ළඟ තිබෙන ආකල්පමය පොහොසත් භාවය තමයි ඒකට මූලිකම හේතුව. නීතියටත් වඩා අපේ රටේ ජෛව විවිධත්වය ආරක්ෂා කරන්න ඒ හරහා පුළුවන්කම ලැබිලා තිබෙනව. ආසියාවේ වෙනත් රටවල් ගත්තොත් මේ තත්ත්වය දකින්න නෑ උදාහරණයක් විදිහට සිංගප්පූරුව මැලේසියාව වගේ රටවල් ගත්තොත් ඒ මාකට් එකට ගියාම රාමු කරන ලද අජීවී සමනල්ලූ එහෙමත් නැත්නම් වෙනත් වෙනත් කෘමි විශේෂ මුදල් දීලා ලබාගන්න පුළුවන්. ඒ රටවල පවතින නීතියට අනුව ඒක බිස්නස් එකක් විදියට කරනව. නමුත් ලංකාවේ ඕක කරන්න ගියොත් අපේ ඉන්න සමනලූන් ටික හෙට අපිට නැති වෙනව. වෙනත් ශාක හෝ සත්ව විශේෂ ගත්තත් ඒක තමයි සිද්ධවෙන්නේ. ඒ නිසා මේ රට තුළ එවැනි දේ නීතිවිරෝධී කටයුතු විදිහට නම් කරලා තියෙනව. එහෙම තත්ත්වයක් තුළ තමයි ගල්කිස්සේ ස්ථානයක් වටලලා ඔය කියන ජීවී සතුන් හා අජීවී සත්ව කොටස් අත්අඩංගුවට ගන්නෙ..”

  ‘‘මේ වගේ තැන් තවත් අපේ රටේ තිබෙන්නේ පුළුවන්. මොකද මේක මහා පරිමාණ ව්‍යාපාරික කටයුත්තක් ද එහෙමත් නැත්නම් වෙනත් ජාවාරමක් ද කියන කාරණා පිළිබඳ තවමත් නිරවුල් අවබෝධයක් අපට නැහැ. කොහොම නමුත් මේ වගේ දේවල් නීති විරෝධී ව්‍යාපාර ලෙස කවුරුන් හෝ විසින් පවත්වාගෙන යනවා නම් ඉදිරි දවසක අපේ රටට ආවේණික සත්තු ටික අපට නැති වෙනව. එය එක දවසකින් දෙකකින් වෙන දෙයක් නෙමෙයි. කාලාන්තරයක් ගියාම තමයි ඒ බව අපට දැනෙන්නේ ගන්නෙ. ඊට අමතරව පිටරටින් ගේන සත්ව හා ශාක විශේෂ ගන්න. ඒවා ආක‍්‍රමණශීලී සත්ත්ව හෝ ශාක විශේෂ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට සේනා දළඹුවා ගන්න. අද මොකද වෙලා තියෙන්නේ. ඒක බරපතළ තර්ජනයක් බවට පත් වෙලා ඉවරයි. මාළුවෙක් ගන්න. ඒ ගේන මාළුවා ආක‍්‍රමණශීලී මාළුවෙක් වෙන්න පුළුවන්. ඒ හරහා අපේ රටේ මත්ස්‍ය සම්පතට මොකද වෙන්නේ. මෙන්න මේ කාරණා පිළිබඳව දැන්වත් අපි සැලකිලිමත් වෙන්න ඕන. මොකද රටක් කියන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු ටිකටවත් ඉදිකරලා තිබෙන මංමාවත් ගොඩනැගිලි ආදියටවත් ලඝු කරන පුළුවන් දෙයක් නෙවෙයි. ගස්කොලන් ටික සතා සීපාවා ඇළ දොළ මේ හැම දෙයක්ම රටක තිබිය යුතු දේවල්. සංචාරක කර්මාන්තයට හෝ වෙනත් ආර්ථික වාසි පිණිස ඒවා විනාශ කරනවා නම් තවදුරටත් එරට ලස්සන රටක් එහෙමත් නැත්තම් යහපත් රටක් විදිහට නම් කරන්න බෑ. ඒ හින්දා ඒ වගේ අකටයුතුකම් පුළුවන් තාක් දුරට නීතියේ රැහැනට හසු කර ගත යුතුයි. ඒ පිළිබඳව වැඩි වැඩියෙන් රටේ ජනතාව දැනුවත් කළ යුතුයි..”

 නොරට සිට මෙරටට ගෙනෙන දෙය හිස්මුදුනින් පිළිගැනීමත් මෙරට පවතින හොඳම දේ නොරට පැටවීමත් ආනයන අපනයන ආර්ථිකය යැයි පැවසීම මේ වන විට දේව වාක්‍යයක් තරමට විශ්වාසය තබා ඇති දෙයක්ය. මේ වන විටද එහි අනිටු ප‍්‍රතිඵල රට වැසියන් වන අප විසින් පමණටත් වඩා භුක්ති විඳිමින් ඇත. කුඩා කෘමියාගේ සිට වනයේ නිදැල්ලේ සරණ අලි ඇතුන් පවා එහි ගොදුරු බවට පත්වී හමාරය. සෞභාග්‍යයේ දැක්ම සැබෑවක් බවට පත් වීමට නම් මේ කියන කාරණා කෙරෙහි ද රට කරවන ඇත්තන්ගේ අවධානය වහ වහා යොමුවිය යුතුය. රටේ හෙට දවස තීරණය වීමට නියමිතව ඇත්තේ ඒ මතය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?