නෝර්වේ රාජ්‍යයේ ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී, බුද්ධි තොරතුරු රැස්කිරීම සහ ඔත්තු බැලීමේ සැකය මත චීන ජාතික කාන්තාවක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මෙම සිදුවීමත් සමඟ යුරෝපා කලාපය තුළ චීනයේ රහස්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව නැවත වරක් දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
නෝර්වේ පොලිස් ආරක්ෂක සේවය (PST) විසින් නිකුත් කරන ලද නිල නිවේදනයකට අනුව, මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදීය. ඇය නෝර්වේ රාජ්‍යයේ වැදගත් ආරක්ෂක තොරතුරු හෝ රාජ්‍ය රහස් නීති විරෝධී ලෙස ලබා ගැනීමට උත්සාහ කළ බවට මූලික සැකය එල්ල වී තිබේ. අධිකරණය හමුවට පමුණුවන ලද ඇයව, පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් සති හතරක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
පොලිස් ආරක්ෂක සේවය පවසන පරිදි, මෙම සැකකාරිය පසුගිය කාලසීමාව පුරාවටම බුද්ධි අංශවල නිරීක්ෂණයට ලක්ව සිට ඇත. ඇයගේ ක්‍රියාකාරකම් නෝර්වේ රාජ්‍යයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මට්ටමක පවතින බවට සාක්ෂි හමු වී ඇති බව වාර්තා වනවා.
අත්අඩංගුවට ගත් කාන්තාවට එරෙහිව නෝර්වේ ආරක්ෂක අංශ පවසන්නේ ඇය යම්කිසි සංවිධානාත්මක ජාලයක් සමඟ සම්බන්ධව කටයුතු කර ඇති බවට සැක කරන බවයි. විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්රය, උත්තර ධ්‍රැවීය කලාපීය පර්යේෂණ සහ නෝර්වේහි ආරක්ෂක තාක්ෂණය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇය උත්සාහ කර ඇති බවට සැක කෙරෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම නෝර්වේ සහ චීනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතාවලට සෘජු බලපෑමක් එල්ල කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති. නෝර්වේ රජය මෑත කාලීනව සිය ජාතික ආරක්ෂක වාර්තා මගින් දිගින් දිගටම අනතුරු අඟවා තිබුණේ චීනය සහ රුසියාව වැනි රටවල් නෝර්වේහි දත්ත සහ තාක්ෂණය සොරා ගැනීමට උත්සාහ කරන බවයි.
ඔස්ලෝ නුවර පිහිටි චීන තානාපති කාර්යාලය මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ මෙය කිසිදු පදනමක් නොමැති චෝදනාවක් බවත්, චීන පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරැකීමට නෝර්වේ රජය බැඳී සිටින බවත්ය. චීනය සැමවිටම ජාත්‍යන්තර නීතිවලට ගරු කරන බවත්, මෙවැනි “බිල්ලන් මැවීමේ” ක්‍රියාවන් දෙරටේ සබඳතාවලට අහිතකර බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම සිදුවීම හුදකලා සිදුවීමක් නොවේ. පසුගිය වසර කිහිපය තුළ ජර්මනිය, එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය වැනි රටවල් කිහිපයකින්ම චීන ඔත්තුකරුවන් සම්බන්ධ පුවත් වාර්තා වුණා.













