පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහනගර සභා හා පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 27ක් අද (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.
මෙම පෙත්සම් විභාගයට ගැනුණේ ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
පෙත්සමක් ඉදිරිපත් කර තිබූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු කඩුවෙල නගර සභා සභික අසිත නිරෝෂණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින් නිසි දිනයට මැතිවරණ නොපැවැත්වීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතීතයේ නඩු තීන්දු ගණනාවක්ම ප්‍රකාශයට පත් කර ඇතැයි සදහන් කළා.
එහෙත් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් විෂය භාර අමාත්‍යවරයාට පළාත් පාලන ආයතන සඳහා ඡන්දය විමසීම් නොපවත්වා ඒවායේ කාලය දීර්ඝ කිරීමට අවස්ථාව සැලසෙන බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කප්පාදුවන බවත් සඳහන් කළා.
මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම හරහා ව්‍යවස්ථාදායකය මෙන්ම විධායකය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි චෝදනා කළ නීතිඥවරයා, එම නිසා අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියා.
ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි බල්තසාර් ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පුද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත තුළින් මහජනතාවගේ අධිකරණ බලය කප්පාදුවකට ලක් කොට ඇතැයි චෝදනා කළා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම රාජ්‍ය ආයතනයක්ම මැතිවරණ පැවැත්වීම සඳහා සහාය දැක්විය යුතුය.
මේ කෙටුම්පත හරහා ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ද පැහැදිලිවම උල්ලංඝනය වන හෙයින් එය සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත වීම අනිවාර්ය බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තාරක නානායක්කාර කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම ද ජනතා පරමාධිපත්‍යයේ අංගයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතීතයේ ප්‍රකාශයට පත් කළ තීන්දුවක් මඟින් අර්ථකථනය කර ඇතැයි සදහන් කළා.
මෙම පනත් කෙටුම්පත තුළින් දැනටමත් විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන ආපසු කැඳවා යළි සක්‍රීය කිරීමේ අභිමතානුසාරී බලයක් විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරෙන අතර එය භයානක තත්ත්වයක් බවත් නීතිඥවරයා කියා සිටියා.
විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරෙන මෙම අසීමිත බලය හේතුවෙන් ව්‍යවස්ථා අර්බුදය රැසක් මතු වීමට ඉඩකඩ පවතින බව අනතුරු අඟවා සිටි නීතිඥවරයා එය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් යෝජිත පනත් කෙටුම්පත හරහා පළාත් පාලන නියෝජිතයින් මහජනතාව කෙරෙහි දක්වන වගවීම අහෝසි වී යන බව පැවසුවා.
මහජනතාව විසින් පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත් කරනු ලබන්නේ වසර හතරක කාලයක් සදහා පමණි.
එහෙත් එම සභිකයින්ගේ නිල කාලය අවසන් වීමෙන් පසුව ඔවුන්ගේ නිලය තව දුරටත් දීර්ඝ කිරීමට යෝජිත පනත් කෙටුම්පත හරහා විෂයභාර අමාත්‍යවරයාට බලය පැවරෙන අතර, ඒ හරහා පළාත් පාලන සභිකයින් විසින් මහජනතාව කෙරෙහි දක්වන වගවීම අහෝසි කෙරෙන බවත් නීතිඥවරයා සඳහන් කළා.
ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන සඳුදා තෙක් කල් තැබුණා.