ආණ්ඩුකාරවරුන්ගේ කලබගෑනිය දුරදිග යන බවක් පෙනෙන්නට තිබේ. ධූරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී තිබුණද, එම පණිවිඩ ලද ඇතැම් ආණ්ඩුකාරවරුන් සිය ධූරවලින් ඉල්ලා අස් නොවීමට තීන්දුකර ඇති බව මේ වන විට වාර්තා වෙමින් පවතී. එම ආණ්ඩුකාරවරුන් අදාළ තීරණයට පැමිණ ඇත්තේ, අධිකරණ ක්ෂේත්‍රයේ හිටපු ප්‍රබලයකු සමග සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුව බව විවිධ ස්ථානවල සටහන්ව ඇත. මෙහිදී ඉදිරිපත්ව ඇති තර්කය වන්නේ ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවන්නේ නම්, ඔවුන් ඉවත් කිරීමට ව්‍යවස්ථානුකුල ප්‍රතිපාදන නොමැති බවයි. ඒ අනුව, විශේෂයෙන් නැගෙනහිර ආණ්ඩුකාර ධූරය හොබවන අනුරාධා යහම්පත් සිය ධුරයෙන් ඉල්ලා අස්නොවීමට තීන්දුකර ඇති බව සිය හිතවතුන්ට ප්‍රකාශ කර ඇත.
නව ආණ්ඩුකාරවරුන් පත්කිරීම සඳහා ධුරවලින් අස්වන ලෙස පළාත් හතරක ආණ්ඩුකාරවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දී දැනට දින කිහිපයක් ගතව තිබේ. ගෙවිහිය සතියේ මෙම කතාබහ උච්ඡතම ස්ථානයකට පැමිණ තිබුණේය. පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කරන ලෙසට දිගින් දිගටම ලැබුණු ඉල්ලීම් සළකා බලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ බ්‍රහස්පතින්දා, මෙලෙස වත්මන් ආණ්ඩුකාරවරුන් සිව්දෙනෙකුට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසට දැනුම්දුන් බව ජනාධිපති ලේකම් කාර්යාල වාර්තා සඳහන් කළේය. ඒ අනුව උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, වයඹ පළාත් ආණ්ඩුකාර වසන්ත කරන්නාගොඩ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබුණේය.
මේ අතර ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පෙන්වාදී ඇත්තේ, ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බවත්, එසේ ඉවත් කරන්නේ නම් පළාත් සභාවේ තුනෙන් දෙකක යෝජනාවක් සම්මත කළ යුතු බවත් ය. ඒ අනුව ධූරයෙන් ඉවත් නොවීමට තීරණය කළ ආණ්ඩුකාරවරුන්, ඒ සඳහා උපදෙස් ලබාගෙන ඇත්තේ හිටපු අගවිනිසුරුවරයාගෙන් බවටද වාර්තා පැතිරෙමින් පවතී. සරත් එන්. සිල්වා එහිදී මෙසේ පවසා ඇත.
“ආණ්ඩුකාරවරු පත්කරන්නේ ජනාධිපතිවරයා විසින්. ඒ තත්ත්වය ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙනවා. 154/ආ/5 වගන්තියට අනුව ආණ්ඩුකාරවරුන්ගේ කාලසීමාව අවුරුදු 5ක්. ඒ වගන්තියේ තියෙන්නේ ‘ස්වකීය ධූරය බාරගත් දින සිට අවුරුදු 5ක කාලසීමාවක් ධූරය දැරිය යුත්තේය’ කියලයි. යම් අවස්ථාවක ආණ්ඩුකාරවරයා ඉවත් කරනවා නම් පළාත් සභාවේ තුනෙන් දෙකකින් යෝජනාවක් සම්මත කරලා ජනාධිපතිවරයාට උපදෙසක් දෙන්න පුලුවන් ආණ්ඩුකාරවරයා ඉවත් කරන්න කියලා. ඒ දුන්නත් ජනාධිපතිවරයාට ප්‍රසාදයක් තියෙනවා නම් විතරයි ආණ්ඩුකාරවරයාව ඉවත් කරන්න පුලුවන්. ඒ විදිහට ආණ්ඩුකාර ධූරය ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කරලයි තියෙන්නේ.
දැන් පළාත් සභා නොමැති නිසා ආණ්ඩුකාරවරු විතරයි ඉන්නේ. ඉතින් පළාත් සභාවේ යෝජනාවක් නැතිව ඔවුන් ඉවත් කරන්න බෑ. ඉල්ලා අස්වුණොත් විතරයි ධූරය හිස්වෙන්නේ. අනෙක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි මේ ආණ්ඩුකාරවරු පත්කළේ. එතුමා ජනතා ඡන්දයෙන් තේරී පත්වුණු ජනාධිපතිවරයෙක්. දැන් ඉන්න ජනාධිපතිතුමා අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඉතින් ජනතා ඡන්දයෙන් ආ ජනාධිපතිවරයා පත් කළ ආණ්ඩුකාරවරුන් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකුට ඉවත් කරන්න පුලුවන්ද කියන ප්‍රශ්නයත් එනවා.”
ඒ අනුව පෙනෙන්නට තිබෙන්නේ ආණ්ඩුකාරවරු ඉවත්කිරීම අවසානයේ අධිකරණයේ නතරවීමට යන බවකි. කෙසේවෙතත් නීතිමය බාධාවක් පවතින බව පැහැදිලිවම පෙනුණහොත් ජනාධිපතිවරයා අදාළ ගැටලුව අධිකරණය කරා රැගෙන යෑමට උනන්දු වනු ඇද්ද යන්නද ප්‍රශ්නාර්ථයකි.
කෙසේහෝ වේවා මෙම ආණ්ඩුකාරවරු පිලිබඳ ගැටලුව අදක ඊයෙක හදිසියේ මතුවුවක් නොවේ. විශේෂයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් සම්බන්ධයෙන් කලක පටන්ම විවිධාකාර චෝදනා එල්ල වෙමින් පැවැතිණි. විශේෂයෙන් දැඩි සිංහල ජාතිකවාදී පදනමකින් කටයුතු කරන අනුරාධා යහම්පත්ව ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින්, එකිනෙකට සමාන වාර්ගික මිශ්‍රතත්වයක් පවතින නැගෙනහිර පළාතට ආණ්ඩුකාරවරිය ලෙස පත්කෙරුණු දා පටන්ම ගැටළු උද්ගතව තිබිණි. ගෝඨාභය රාජපක්ෂගෙන් අනතුරුව බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වූදා පටන්ම වරින්වර ප්‍රතිඥා ලබාදෙන්නේ රටේ ජනවාර්ගික අර්බුදයට කඩිනම් විසඳුමක් ලබාදෙන බවටය. පසුගිය නිදහස් දිනය වන විට එම විසඳුම යෝජනා කරන බව පළමුව කී ජනාධිපතිවරයා, අනතුරුව පැවසුවේ මේ වසර අවසන් වීමට ප්‍රථම එම විසඳුම ලබාදෙන බවය. ඒ වෙනුවෙන් ඔහු සුළු ජාතින් නියෝජනය කරන දේශපාලන නායකයන් සමග වතාවන් ගණනාවකදී සාකච්ඡා පවත්වා ඇත. එහෙත් එම සාකච්ඡා වලදීද ජනාධිපතිවරයා හමුවට ඉදිරිපත්ව ඇති ගැටළුවක් වන්නේ, සිංහල, දෙමළ සහ මුස්ලිම් සමාන ජන සංයුතියක් පවතින සංවේදී නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරවරිය, සිංහල ජාතිකවාදයට වැඩි නැඹුරුවක් දැක්වීමයි. එසේම අනුරාධා යහම්පත් යනු ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ ‘වියත්මග’ සංවිධානයේ සාමාජිකාවකි. වියත්මගට එල්ලවී ඇති ප්‍රධානම චෝදනාවක් වන්නේ රටේ ජනවාර්ගික විවිධත්වය අවබෝධ කරගැනීමකින් තොරව, සිංහල-බෞද්ධ පදනමකින් පමණක් දේශපාලන ක්‍රියාවලියක නිරතවීමයි. එය පැහැදිලිවම 13වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මත පදනම්ව වාර්ගික අර්බුදයට විසඳුමක් ලබාදෙන බව කියන ජනාධිපතිවරයාගේ ස්ථාවරයට පටහැනිව යෑමකි.
මෑතකදී අනුරාධා යහම්පත් ආණ්ඩුකාරවරියට එල්ලවූ තවත් චෝදනාවක් වන්නේ, ඇය සංවේදී ‘නැගෙනහිර පළාතට අනවශ්‍ය ලෙස චීනය මැදිහත්කාර ගැනීමට උත්සාහ කරනවාය’ යන්නයි. ඇය පසුගිය සතියේ, නැගෙනහිර පළාත චීනයේ යුනෑන් පළාත සමග සහෝදර පළාතක් ලෙස සංවර්ධනය කිරීම සඳහා චීන නියෝජිතයන් පිරිසක් ගෙන්වාගෙන ප්‍රසිද්ධියේම කටයුතු කරමින් සිටියාය. චීනයේ උපකාරය සහිතව කෘෂි තාක්ෂණ විද්‍යාගාරයක්, තරු හතේ හෝටල් සංකීර්ණ 10 ක් සහ චීනයේ යුනෑන් ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල වලින් නොමිලයේ අධ්‍යාපනය ලබා ගැනීමට වාර්ෂිකව ශිෂ්‍යත්ව ආදී වැඩසටහනක් ආරම්භ කරන බවට ආණ්ඩුකාරවරිය ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවාය. චීනය යනු මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අනතර් ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ණය වැඩසටහන හමුවේ පවතින ප්‍රධාන බාධාවක් බව නොරහසකි. IMF වැඩසටහනට සහාය පළකිරීම සඳහා, විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උතුර අහ නැගෙනහිර පළාත්වල සංව්දී ස්ථාන ඉලක්ක කර ව්‍යාපෘති ආරම්භ කිරීමට චීනය මේ වන විට දැඩි උත්සාහයක නිරතව සිටී. ඒ අන් කිසිවක් නිසා නොව සිය ප්‍රතිවාදියකු ලෙස චීනය විසින් සළකන ඉන්දියාවට බලපෑම් කිරීම සඳහා අදාළ පාලත් දෙක චීනයට උපාය මාර්ගිකව වැදගත් වන බැවිනි. එමනිසා උතුරට සහ නැගෙනහිරට අනවශ්‍ය චීන මැදිහත්වීමක් සිදුකිරීමට ඉඩ ලබාදීම යනු, ශ්‍රී ලංකාවට අතිශය වැදගත් අසල්වැසියා වන ඉන්දියාව අමනාප කරගැනීමට, ශ්‍රී ලංකාව විසින්ම පාර කපාගැනීමකි. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වාදෙන්නේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යනු කලාපයේ භූ-දේශපාලන තුලනය පිළිබඳව හැඟීමකින් තොරව හිතුමතයේ හෝ වෙනත් පාර්ශ්වයක උවමනාවක් මත කටයුතු කරන තැනැත්තියක බවය.
මෙම සියලු කරුණු අනුව සලකා බලන විට පෙනීයන්නේ, ඇත්තෙන්ම මෙම ආණ්ඩුකාර අර්බුදය නිර්මාණය වී ඇත්තේ, දැනට ජනාධිපතිවරයා විසින් ඉවත්කිරීමට තීරණය කර ඇති සියලුම ආණ්ඩුකාරවරුන්ගේ ගැටළුවක් නිසා නොව, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය නිසා බව අවබෝධ කරගැනීම අපහසු නැත. කෙසේවෙතත් පවතින ගැටලුව වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින සියලු විධායක බලතල උපරිමයෙන් භාවිත කරන ජනාධිපතිවරයාට, ආණ්ඩුකාරවරුන් සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ පවතින අර්බුදයෙන් ගොඩඒමට සෘජු මාර්ගයක් නොපවතින බව පෙනෙන්නට තිබීමයි.