මහා පරිමාණ ජාවාරම් අපේ රටේ වරින් වර මතු වන්නේ දීර්ඝ කාලීනව කළ සැලසුම්ද සහිතවය. එම ජාවාරම් පිටුපස බොහෝ අවස්ථාවලදී රජයේ නිලධාරීන්ද සිටිනා බව අමුතුවෙන් පෙන්වා දිය යුතු ද නැත. ජාවාරම්කරුවන්ට තම කටයුතු නිසි පරිදි සිදු කරගෙන යන්නට පහසුකම් සලසන්නේ රාජ්‍ය සේවය ජාවාරමක් කර ගන්නා එක්තරා රාජ්‍ය සේවකයන් පිරිසක් නිසාය. මේ නිසා රටට අහිමි වන ආදායමද අතිවිශාලය.
අපට අද කතා කරන්නට සිදුව ඇත්තේ කාලාන්තරයක් තිස්සේ සිදු කරන ලද මහා පරිමාණ වැලි බලපත්‍ර ජාවාරමක් ගැනය. මේ ජාවාරම ගැන කතා කරන්නට පෙර අපට පැවසිය යුතු පෙර කතාවක්ද ඇත. අතීත වර්තමාන කතාවන් ගළපා ගත යුතු වන්නේ එයින් පසුවය.
වැලි බලපත්‍ර අවශ්‍ය වන්නේ වැලි කැණීමට හා වැලි ප්‍රවාහනය කිරීම වෙනුවෙනි. පළමුව වැලි කැණීම් කළ යුතුය.
මේ කැණීම් වෙනුවෙන් අනුමැතිය දෙන්නේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය විසිනි. එහෙත් ඇතැම් ගංගා ඉවුරු හෝ වනසම්පත් මහවැලි ඇතුළු වෙනත් අධිකාරීන්ට අයත් භූමි ප්‍රදේශවල වැලි කණින්නට අනුමැතිය කාර්යාංශයෙන් හිමි වන්නේ නැත.
එමෙන්ම මෙරට ස්වභාවිකත්වයට හානිවන කැණීම් වෙනුවෙන් අනුමැතීන් හිමි වන්නේ ද නැත. එහෙත් මීට වසර කිහිපයකට පෙර ඒ කිසිවක් ගැන නොසලකා යන්ත්‍ර සූත්‍ර පවා ගෙනවිත් වැලි කැණීම් සිදු කරන ලද්දේ කාර්යාංශයේ අනුමැතීන්ද සහිතවය.
විශේෂයෙන්ම මෙරට ස්වාභාවික ඩෙල්ටාවක් ලෙස වර්ධනය වන මහවැලි ගඟේ සාෆි නගර් ප්‍රදේශයේ මෙසේ යන්ත්‍රසූත්‍ර භාවිත කරමින් මහා පරිමාණ වැලි කැණීම් වෙනුවෙන් දකුණු පළාතට සම්බන්ධ ගමක නමකින් යුතු සමාගමකට අනුමැතිය දී තිබුණි.
එහිදී පරිසර පද්ධතියේ සංවේදීතාව පිළිබද අධ්‍යයනය සිදු කර නොමැති බව පරිසරවේදීහු හඬ නැඟූහ. මේ අප පෙන්වා දුන්නේ එක් සිදු වීමක් පමණි. එවන් තවත් මහා පරිමාණ දූෂණ ක්‍රියාවන් කාර්යාංශය හරහා වරින්වර සිදුව තිබුණි. ඒ කාර්යාංශයේ නිලධාරීන්ගේ අනුදැනුම සහිතව වන අතර අදාළ සමාගම්වලට හෝ පුද්ගලයන්ට අනුමත කළ නොහැකි අනුමැතීන් ලබා දී තිබුණේ කිසිදු ආකාරයක පරිසර ඇගැයීම් පවා නොමැතිවය.
2020 ඔක්තෝබර් 06 දින 2196/28 අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් පත් කළ කමිටුවට අනුව වැලි ගොඩදැමීම හා ප්‍රවාහනය සම්බන්ධව දැඩි නීතිරීති ක්‍රියාත්මක විය.
එහෙත් එහිදී කර්මාන්තයට ඇති වූ බාධා නිසා වැලි ගොඩ දමන ජනතාව, සමාගම් සියල්ල අපහසුතාවට පත්වූ අතර එම අපහසුතාවන්ට පිළියමක් ලෙස කොන්දේසි සහිතව අවසර ලැබුණි.
එහෙත් ඒ කොන්දේසිද අවභාවිත වූ බව පසුව පැහැදිලි වන්නට විය.
විශේෂයෙන්ම 2021 වසරේදී 2021/57/LS අනුමැතිය යටතේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ වැලි කැණීම් සම්බන්ධව කළ වාර්තාවට අනුව විශාල වැලි බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර තිබුණි. අවසානයේ මහවැලි ගංගාවේ දකුණු ඉවුරට පමණක් දුන් වැලි ගොඩ දැම්මේ බලපත්‍ර වෙනුවට එම බලපත්‍රය වම් ඉවුරටත් ලැබුණි.
පසුව කින්නියා ප්‍රදේශය දක්වා කිලෝමීටර් 22 තුළ වැලි බලපත්‍ර 1300 ලබා දී තිබුණු බව වාර්තා විය. ඊට අමතරව අනවසර වැලි ගොඩදැමීමේ රැසක් සිදු කෙරුණු අතර එය විශාල පාරිසරික බලපෑමකට තුඩු දුන් අතර; අවසානයේ නාවික හමුදාව මහවැලි ගංගාවේ සිදු කළ වැටලීම්වලදී වැලි ජාවාරම්කරුවන් දෙදෙනකු ගඟට පැනීමේදී මිය ගිය අතර එහිදී ජනතාව විසින් නාවික හමුදාවට පහර දීම නිසා විශාල ගැටුමක්ද හට ගත්තේය.
මේ අතීත කතා වුවද අපට වැදගත් වන්නේ ඒ සියල්ල වර්තමානයේ සිදු වන්නා වූ මහා පරිමාණ ජාවාරම් සම්බන්ධයෙන්ද වැදගත් වන නිසාය. අනවසර වැලි ගොඩ දමන්නන් නිරතුරුවම උත්සාහ කරන්නේ හැකි ඉක්මනින් ගොඩ දැමූ වැලි ටිපර් රථයකට පටවා යවන්නටය. අනවසර වැලි ප්‍රවාහනය කරන්නන් උත්සාහ කරන්නේ හැකි ඉක්මනින් හොර පාරෙන් වැලි ගෙන යන්නටය. මේ වන විට වැඩියෙන් ගැටලුවක් මතුව ඇත්තේ අනවසර වැලි ගොඩ දමන්නන්ට නොව වැලි ප්‍රවාහනය කරන්නන්ටය.
අනවසර වැලි ගොඩ දැමූවන්ට වැටලීමකදී එම වැලි තොගය දමා පැන යා හැකිය. එහෙත් වැලි ප්‍රවාහනය කරන්නට එසේ යා නොහැකිය. මනම්පිටියේ සිට හෝ කන්තලේ සේරුවිල මාර්ගයේ සිට හෝ මහියංගණයේ සිට පැමිණෙද්දී හෝ අනිවාර්යයෙන්ම පොලිස් මාර්ග බාධක රැසකදී ඔවුන්ට තම බලපත්‍ර පෙන්වීමට සිදු වේ. මෙහිදී ඔවුන් මුහුණපාන ගැටලු රාශියකි.
ඒවාට පවත්නා නීතිමය රාමුව හමුවේ කඩිනම් විසඳුම් සපයා ගැනීම අපහසුය. එම නිසා බොහෝ අවස්ථාවල නීතිමය රාමුවෙන් පිටතට ගොස් කෙසේ හෝ වැලි ප්‍රවාහනයට අවශ්‍ය මාර්ගය සකසා ගැනීමට කටයුතු කරනු ලැබේ.
එහිදී බොහෝ විට පරීක්ෂා කරන නිලධාරීන්ගේ අතමිට මෙලවීම සිදු කෙරේ. එහෙත් හදිසි අවස්ථාවලදී වෙනත් ස්ථානවලදී නීතිගරුක නිලධාරීන් විසින් පරීක්ෂා කළහොත් ඇතිවන ගැටලු මඟහරවා ගැනීමට මේ වැලි ප්‍රවාහන ටිපර් රථ රියැදුරන්ට ගැටලු මතු වේ. ඒ ගැටලුව ගැන දැනගන්නා වංචාකරුවෝ ඒ වෙනුවෙන් ඔවුන්ට ව්‍යාජ බලපත්‍ර දීමට කටයුතු කරති.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් නිකුත් කරනු ලබන බලපත්‍ර සේම වලංගුභාවයෙන් යුත් ඒ බලපත්‍රයක් වෙන් කර හඳුනා ගැනීම අපහසුය. එමෙන්ම අදාළ කාලවකවානුවේදී නිකුත් කරන අංක එලෙසින්ම එම බලපත්‍රවල මුද්‍රණය වී තිබීම මෙහිලා විශේෂිතම අනාවරණය කර ගත යුත්තකි.
මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයෙන් නොතිබුණද වසරකට මඳක් අඩු කාලයක සිට කාර්යාංශය විසින් වැඩි අවධානයක් මේ වෙනුවෙන් යොමු කර සිදු වන දූෂණ හා වංචා වැළැක්වීමට පියවර ගන්නා ලදි.
ඒ විමර්ශනයේ ප්‍රතිඵල ලැබුණි. වසර තුනකට අධික කාලයක් තිස්සේ කුරුණෑගල පවත්වාගෙන ගිය මහා පරිමාණ ව්‍යාජ වැලි බලපත්‍ර නිකුත් කරන ස්ථානයක් වටලා ගන්නට හැකි විය. එය මේ දක්වා කාර්යාංශය මඟින් වටලන ලද විශාලතම සංවිධානාත්මක ව්‍යාජ බලපත්‍ර නිකුත් කරන ආයතනය වීම මෙහිලා වැදගත්ය.
කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ව්‍යාජ බලපත්‍ර දෙන ආයතනය විසින් ඉතා සූක්ෂ්මව මේ මහා පරිමාණ වංචාව කාලයක් තිස්සේම පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා කාර්යාංශයේ නිලධාරීන් කිහිප දෙනකුගේ නොමඳ සහාය ලැබී තිබේ. එසේ නොවන්නට කාර්යාංශය මඟින් නිකුත් කරන බලපත්‍රයන්හි අංක එදිනම ජාවාරම්කරුවන් අතර පත් වන්නට කිසිදු අයුරකින් වෙනත් හේතුවක් නැත.
මේ සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ සභාපති ආචාර්ය සෙනරත් හේවගේ හමු වී කරුණු විමසුවෙමු.
‘‘ මම මේ කාර්යාංශයට එන්න කලින් ඉඳලම මේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයකින් හිටියෙ. මම දැනගෙන හිටියා කාර්යාංශය නිකුත් කරන බලපත්‍රවලට සමාන ව්‍යාජ බලපත්‍ර නිකුත් වන බව. කාර්යාංශයේ බලපත්‍ර ලෙසින්ම ඒවා නිකුත් කරනවා. කිසිම වෙනසක් නැහැ. මේ ලෙසින් බලපත්‍ර අවශ්‍ය වන්නේ ඇයි කියලා අපි පළමුවෙන් සොයා බලමු.
භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නීති හා රෙගුලාසිවලට අනුව පස් හා වැලි කැණීම් සිදු කරන්නත් ඒ වගේම ප්‍රවාහනයටත් වෙන වෙනම බලපත්‍ර අවශ්‍ය වෙනවා.
ඉස්සර අදාළ මංකඩවලින් මේ ප්‍රවාහන බලපත්‍රය නිකුත් කළේ ඒත් යුද්ධයෙන් පසුව මුලතිව්, කිළිනොච්චි, කන්තලේ වැනි ප්‍රදේශවලින් පවා දකුණට වැඩි වශයෙන් වැලි ප්‍රවාහනය සිදු වන විට කාර්යාංශයේ විමධ්‍යගත කිරීම් අනුව මේ තත්ත්වය වෙනස් කරන්න සිදු වුණා. ඒත් ඇතැම් තැන්වල අපි බලපත්‍ර නිකුත් නොකරන්නේ ඒ ස්ථානයන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ප්‍රදේශ නිසා. උදාහරණ ලෙසින් මුලතිව් කිලිනොච්චි, කන්තලේ හරහා යන ගංගා බොහෝ තැන්වලින් ගලා බසින්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමීන් හරහා. ඒ ස්ථානවලට අපි බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ.
එවන් සමහර ප්‍රදේශවල ඇතැම් පිරිස් වංචනික ලෙසින් වැලි ගොඩ දැමීම සිදු කරනවා. එසේ ගොඩ දාන වැලි ප්‍රවාහනය කරන්න බැහැ. ඒ වගේ වෙලාවට ටිපර් රථ රියැදුරන් හෝ ව්‍යාපාරිකයන් ව්‍යාජ බලපත්‍රයක් ලබා ගැනීමේ මාර්ගයට යොමු වෙනවා. ඒක එයාලට අංශ කීපයකින් වාසියි. එකක් වැඩි කරදරයක් නැතිව ගිහින් ගිය සැණින් මුදල් ගෙවා ව්‍යාජ බලපත්‍රය ගන්න පුළුවන්. අනෙක් කාරණය අවසර ලත් ස්ථානවලින් වැලි ටිපර් එකක් දෙන්නේ රුපියල් 20,000කට පමණ මිලකට වුවත් අනවසර වැලි ගොඩ දැමීමේ ස්ථානවලින් රුපියල් 12,000කට පමණ ටිපර් රථයකට පටවා ගැනීම කරන්න පුළුවන්. ටිපර් රථවල සේවකයන් අනවසර වැලි ගොඩ දමන ස්ථානවලට ගොස් තමන්ට නිසි බලපත්‍ර ඇති බව පෙන්වා මේ ලෙසින් අඩු මිලකට වැලි ප්‍රවාහන කටයුතු කරනවා.
එයින් රජයට හිමි විය යුතු විශාල ආදායමක් අහිමි වනවා. මේ රාජ්‍ය භාගය අහිමි වීම කාලයක සිට සිදු වන්නක්.
කාර්යාංශයට තොරතුරක් ලැබී වැටලීමට ගිය හැම අවස්ථාවකම අදාළ ආයතනයේ හෝ ස්ථානයේ එවැනි ව්‍යාජ බලපත්‍ර නිකුත් කිරීමක් ගැන සොයා ගන්නට ලැබෙන්නේ නැහැ.
එයට හේතුව තමයි වැටලීම් කරන්න පිටත් වෙනකොටම කාර්යාංශයෙන්ම අදාළ තැන්වලට පණිවුඩය යන එක. මේ ලෙසින් හරිම සංවිධානාත්මක ජාලයක් ව්‍යාජ බලපත්‍ර නිකුත් කරන්නන් සකස් කරගෙන තිබුණා. මම රාජකාරියට පැමිණ මාස 7කට වඩා නැහැ. මම පැමිණි විගසම කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ තිබුණු වැටලීම් අංශය මා යටතට ගත්තා. ඒ අනුව අදාළ ඉංජිනේරුවන්ට ඍජුවම උපදෙස් දුන්නා යම් අකටයුත්තක් සිදුවනවා නම් මා දැනුවත් කරන ලෙස, ඒ වගේම මට නොදන්වා කිසිදු වැටලීමක් නොකරන ලෙසත් මම දැනුම් දුන්නා.
අපි කුරුණෑගල ව්‍යාජ බලපත්‍ර නිකුත් කරන ආයතනය ගැන අවදියෙන් සිටියේ ඒ අනුවයි. පසුගිය අගෝස්තු 23 වන විට අදාළ ආයතනය ගැන සියලු තොරතුරු අප සතු වුණා.
ඉංජිනේරු මහතා විසින් මට දැනුම් දුන් පසුව මම ඔවුන්ට අනුමැතිය දුන්නා අදාළ ආයතනය සම්බන්ධව වැඩිදුර සොයා බැලීම් කර වැටලීම් සූදානම් කරන ලෙස. ඒ අනුව පසු දින එනම් අගෝස්තු 24 වැනිදා රාත්‍රියේ වැටලීම් සිදු කරන්නට මගෙන් අනුමැතිය ඉල්ලා සිටියා.
කාර්යාංශයෙන්ම පණිවුඩ යන නිසා වෙනත් ප්‍රදේශයකට යන බව පෙන්වා කණ්ඩායමක් පිටත් කළා. පොලිසියට නොදන්වා විශේෂ කාර්ය බළකායට මේ සම්බන්ධව දැනුම් දී 24 වෙනිදා අදාළ වැටලීම් කළා. මම වැටලීම් කණ්ඩායමට දැනුම් දුන්නා කිසිම බලපෑමකට යටත් නොවී අදාළ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සියල්ල වීඩියෝ ගත කර ඡායාරූපද ලබා ගන්නා ලෙස. සාර්ථක වැටලීමෙන් පසුව අපට බොහෝ දේවල් සොයා ගත හැකි වුණා.
කුරුණෑගල ව්‍යාජ බලපත්‍ර නිකුත් කරන ස්ථානය ඉතා සැලසුම් සහගතව හා ආරක්ෂාකාරීව පවත්වාගෙන ගොස් තිබෙන්නේ. මේ ස්ථානය කටයුතු කර තිබෙන්නේ අංශ 3ක් ලෙසින්. ඒ අනුව කුරුණෑගල මුද්‍රණාලයකින් මුද්‍රණය කර ගෙන එනු ලබන ව්‍යාජ බලපත්‍ර ආරක්ෂිතව එක් ස්ථානයක තබා ගන්නවා. අනෙක් ස්ථානයේ තමයි ව්‍යාජ බලපත්‍ර සකස් කරන්නේ. ඒ කියන්නේ පරිගණකයෙන් අදාළ විස්තර ඇතුළත් කර මුද්‍රා තබා ආරක්ෂිත ලෙස සකස් කිරීම කරනවා. බලපත්‍ර නිකුත් කරන්නේ තවත් ස්ථානයකින්. මේ ව්‍යාජ ආයතනය විසින් වරකට බලපත්‍ර ලක්ෂයක් මුද්‍රණය කරන බව අනාවරණය කරගෙන තියෙනවා. හිතා ගන්න පුළුවන් නේද වංචාවේ තරම. ඒ වගේම දිනකට ව්‍යාජ බලපත්‍ර 500ත් 600ත් අතර නිකුත් කර තිබෙනවා.
අපි මේ සම්බන්ධයෙන් කාර්යාංශයේ විමර්ශන සිදු කරන අතරතුර වැඩිදුර පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.
විශේෂයෙන්ම කාර්යාංශයේ මේ සිදුවීම්වලට සම්බන්ධ නිලධාරීන් ගැන මෙහිදී විශේෂ විමර්ශනයක් සිදු කරනවා. අදාළ සැක සහිත පුද්ගලයන්ගේ දුරකථන තොරතුරු ඇතුළු අනෙකුත් තොරතුරු සම්බන්ධව ඉදිරියේදී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව නිසි පියවර ගනීවි. කාර්යාංශය පැත්තෙන් අපට කළ හැකි දේ තමයි මේ බලපත්‍රයට විශේෂ ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම. අපි දැන් ඒ සම්බන්ධව කටයුතු කරමින් ඉන්නේ. ඉදිරි බලපත්‍රවලට අප එම ස්ටිකරය යොදනවා. ‘‘
වර්තමාන සභාපතිවරයා විසින් හෝ එවැන්නක් කෙරෙහි අවධානය යොමු කිරීම අගය කළ යුතුය. මේ වැලි බලපත්‍ර ජාවාරමට කොතරම් පිරිස් සම්බන්ධයක් දක්වන්නේද කියතොත් පසුගිය දිනක ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිරිමංගල පුර පොලිස් මාර්ග බාධකයකදී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරියකුගේ දුරකථනය අතට ගත් පොලිස් නිලධාරියකු එහි තිබූ අනවසර වැලි ගොඩ දැමීමට අදාළ වීඩියෝ හා සේයාරූ සියල්ල මකා දමා ඇත. මේ සම්බන්ධයෙන් කාර්යාංශයේ සභාපතිවරයා විසින් ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට මෙන්ම මූතූර් පොලිස් ස්ථානාධිපතිවරයාටද පැමිණිලි කර තිබේ.
කුරුණෑගල ව්‍යාජ බලපත්‍රයක් දී ඇත්තේ රුපියල් හයදහසකටය. ඒ හරහා රජයට මසකට අහිමිව ඇති මුදල මසකට රුපියල් කෝටි 2ක් හා කෝටි 3ත් අතර වේ. එමෙන්ම කුරුණෑගලදී අත්අඩංගුවට ගත් නිලධාරි නිල මුද්‍රා 36ක් හා ඔවුන්ගේ ව්‍යාජ අත්සන් අඩංගු ලිපි ලේඛන හා අත්සන් සහිත මුද්‍රා ආදී සියල්ල මේ වන විට විමර්ශන කටයුතු සඳහා යොමු කර තිබේ.
මෙවන් තවත් ස්ථානයක් ගැන කාර්යාංශය අවදියෙන් සිටින අතර මේ වන විට එම ස්ථානය වෙනස් කර ඇති බවට තොරතුරු ලැබී ඇත. මේ සියලු වැටලීම්වලට පෙර කළ යුත්තේ මේ අකටයුත්ත වෙනුවෙන් රාජකාරිය අවභාවිත කළ කාර්යාංශයේ පුද්ගලයන්ට දැඩි දඬුවම් පැමිණ වීමය. එසේ නොකර මේ ජාවාරම මැඬ පැවැත්විය නොහැකි වන්නේය.
උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත