2004 වසරේ උසස් පොලිස් නිලධාරීන්ගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා සකස් කළ අසත්‍ය ලේඛන යොදා ගනිමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු රවටා වැඩ තහනම් කර සිටි පොලිස් කොස්තාපල්වරයකු යළි සේවයේ පිහිටුවීමට ක්‍රියාකල බවට චෝදනා ලබා සිටි උපසේවා පොලිස් මුලස්ථානයේ පිරිස් පාලන අංශයේ හිටපු ස්ථානාධිපති විජිත් වීරසිංහ විත්ති වාචක කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (26) නියෝග කළා.
විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් විත්ති වාචක නොකැඳවාම විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.
විත්තිකරු විසින් රවටන ලදැයි කියන මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමරදිවාකර ඇතුළු සාක්ෂිකරුවන් හයදෙනෙකුගේ සහ සාක්ෂි ලේඛන හයක් ඉදිරිපත් කරමින් පැමිණිල්ල විසින් සාක්ෂි විභාගයක් සිදුකර තිබුණ ද චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු අධිකරණය හමුවේ කරුණු පෙන්වා දී තිබුණා.
විත්තිය විසින් ඉදිරිපත් කළ එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
2004 ජූලි 06 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී නැවත සේවයේ පිහිටවා නොමැති බව දනිමින් උප පොලිස් කොස්තාපල්වරයකු නැවත සේවයේ පිහිටු වන ලදයි අසත්‍ය ලේඛන සකස් කර එවක මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුකාභය සමරදිවාකර රවටා ඔහු අපකීර්තියට පත් කිරීම ඇතුළු අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් 2008 වසරේ දී මෙම නඩුව ගොනු කර තිබුණා.





