AFC Banner
Empty Ad
Empty Ad

සිරුරු දෙක හොයා ගන්න කොට දෙන්න එකට බදාගෙන ගල් පරය අස්සෙ හිර වෙලා

සිංහල හින්දු අලූ‍ත් අවුරුද්දේ සිය මව හා ඥාතීන් බැහැදැකීමට බණ්ඩාරවෙල ප්‍රදේශයට බොහොම සතුටින් ගිය එකම පවුලේ සිව් දෙනෙක් ගමන් විඩාව නිවා ගැනීමට විනෝදය සඳහා දිය පොදක පහස ලබා ගැනීමට යාමේදී ඉන් දෙදෙනෙක් දිය රකුසාට බිළිවූ සෝචනීය පුවතක් මහරගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

මහරගම, පමුණුව, දෙල්ගහවත්ත පාර ප්‍රදේශවාසීන්ගේ ඇසට කඳුළු උනමින් සිත් කම්පාවට පත්වන මෙම පුවත කන වැකුණේ පසුගිය(15)දාය.

නිවෙසේ එකම ස්ථානයක තිබූ පියාගේ සහ පුතුගේ මෘත දේහයන් දෙක දුටු විට අපගේ නෙතටද කඳුලක් ගලා ආවේය. දේහයන් දෙක අසල ඉතාමත් කම්පනයට ලක්වී තම ස්වාමියාට හා පුතුට සිදුවූ දේ අදහා ගැනීමටවත් නොහැකිව සිටින තුෂාරි වත්සලා මාපිටියගේ (47) මහත්මියගෙන් සිදුවූ දෙය අප විමසීමේදී ඇයට මේ පිළිබඳ විස්තර කියා ගැනීමට ගැනීමටවත් නොහැකිව ශෝකබරිතව සිටියාය.

එම ස්ථානයේ සිටි හේමන්ත මහතාගේ සහෝදරියකගෙන් මේ පිළිබඳ විමසීමේදී ඇය පැවසුවේ අක්කට කතා කරගන්න බැරුවයි ඉන්නේ. අක්කට හිතා ගන්නවත් බැරිව ඉන්නේ මොකද උනේ කියලා. බොරලැස්ගමුවේ පෞද්ගලික බැංකුවක කළමනාකරුවෙකු හැටියට තමයි අයියා වැඩ කළේ. අයියා 15වැනිදා උදේ එයාගෙ නෝනයි දරුවො දෙන්නයි එක්ක, එයාගේ යාලූ‍වෙකුගේ වාහනයකින් අම්මවයි, අයියලාවයි අක්කලයි බලන්න අයියාගේ උපන් ගම වන බණ්ඩාරවෙල, කිරිඔරුව, මාරබැද්ද කියන ගමට ගියා. හේමන්ත අයියා අනිවාර්යයෙන්ම සෑම අවුරුද්දකම ගමට යනවා නෑදෑයො බලන්න.

14වැනිදා උදේ ආහාර අනුභව නැකතට පස්සේ ගමට යන්න ලෑස්ති වෙලා හිටියත් අයියගෙ යාලූ‍වාට එන්න බැරි ප්‍රශ්නයක් නිසා උදේ යන්න බැරි නිසා එදාම හවස යමු කියලා කියල කට්ටියම කතා කරගෙන තිබුණා. හවසත් එහෙම යන්න බැරිවුණ නිසා අයියා අක්කට කියලා කියල තිබුණා 15වැනිදා උදේ අපි ගෙදර යමු කියලා. එහෙම කතා කරගෙන පහළොස් වැනිදා උදේ හතහමාරට විතර අයියයි අක්කයි ළමයි දෙන්නයි ගමේ යන්න ලෑස්ති වෙලා ඉන්නකොට ගෙදර හුරතලේට හදන බල්ලා කන්පට ගැහුවා. අක්කා ඒත් කිව්වා කිහිපවිටක්ම බාධා වූ නිසා බල්ලා කන්පට ගහපු එකේ තව චුට්ටක් පරක්කු වෙලා යං කියල. අයියා කියල තිබුන ඔය මනස්ගාත විශ්වාස කරන්න එපා. අපි ගෙදරින් දැන් පිටත් වෙමු කියලා.

ඊට පස්සේ අයියයි, අක්කයි ළමයි දෙන්නයි අයියගෙ යාලූ‍වා අරන් ආපු කාර් එකේ නැගලා ගමේ යන්න පිටත් වෙලා තිබුණා. එතකොට ගෙදර හදන කම්පට ගහපු බලූ‍ පැටියා වාහනයේ පස්සෙන් මහරගම පමුණුව පාරටම දුවගෙන ගිහිල්ලා තිබුණා. අයියා ඊට පස්සේ වාහනය නවත්තන්න කියලා බලූ‍ පැටියාව නැවතත් කාර් එකේ දාගෙන ගෙදරට ගෙනවිත් දාලා නැවත යන්න හදනකොට අයියාගේ කලිසමේ කකුලෙන් බලූ‍ පැටිය ඇදලා තියෙනවා. අයියා සත්තුන්ට ගොඩක් ආදරෙයි අයියා බලූ‍ පැටියාගේ ඔළුව අතගාලා කියලා තියෙනවා අපි ඉක්මනට එනවා උඹ ගෙදර බලාගෙන හිටපං කියලා. බලූ‍ පැටියා කවදාවත් එසේ නොකරන නිසා අක්කට පොඩි සැකයකුත් ඇවිත් තිබුණ මේ ගමනට බාධාවක් ද කියලත්. කොහොම හරි මේ කට්ටිය ඊට පස්සේ බලූ‍ පැටියා ගෙදර දාලා ගමන යන්න පිටත් වෙලා තිබුණා. බලංගොඩ හරියෙදි අපේ නංගි කෙනෙක්ට කෝල් කරල කියල තිබුන ගමේ යන ගමන් ඉන්නේ කියලා.

ගමන යන අතර තුර හල්දුම්මුල්ල, කළුපහන හරියේදි පුතා අහලා තියෙනවා තාත්තේ අපි වේලිඔයෙන් නාමුද කියලා. මුලදී අයියා ඒකට කැමැත්තක් දක්වලා නැහැ. නමුත් පුතා දෙපාරක් තුන්පාරක්ම අහපු නිසා අයියා කියලා තියෙනවා හා හා එහෙනම් අපි නාලා යමුයි කියලා. ඊට පස්සේ වාහනේ ඒ අසල ඉඩ පහසුකම් තිබෙන ස්ථානයක නවත්තලා අයියයි, පුතයි, දුවයි වාහනේ පදවාගෙන ගිය අයියාගේ යාළුවායි ඔයේ නාන්න ගිහිල්ලා තියෙනවා. එතකොට වෙලාව හවස දෙකට විතර කියලා තමයි අක්කා කිව්වේ. මේ හතර දෙනා හතරදෙනා ඔයේ පහල නාන්න ගියත් අක්කා ගිහිල්ලා නෑ. අක්කා වාහනේම තමයි ඉඳලා තියෙන්නේ එයා මේගොල්ලොන්ට කියලා තියෙනවා පරිස්සමෙන් නාන්න කියලා. ඔයේ ගොඩක් දෙනෙකුත් නනා ඉදල තියෙනවා. ඒ වෙලාවේ අයියයි, පුතයි පහල වතුර තියෙන තැන තමයි නනා ඉඳල තියෙන්නෙ. එතැන වතුර ඒ වෙලාවේ අඩි දෙකක්වත් තිබිලා නැහැ. දුවත් එතැන ඉඳලා තියනවා. අයියගේ යාළුවා ඊට ටිකක් දුරින් තමයි ඉඳලා තියෙන්නෙ. එකපාරටම විදුලි වේගයෙන් වගේ වතුර පාර වැඩි වෙලා අඩි පහක් හයක් විතර උඩට වතුර ආවා කියලා තමයි අක්කා කියන්නේ.

ඒ වෙලාවේ ඔයේ බැහැලා හිටපු ගොඩක් දෙනෙක් වතුර පාරට අහුවෙලා ගහගෙන ගිහින් තියෙනවා. අයියට හොඳට පීනන්න පුළුවන් අයියා ගහගෙන යන දුවව අරන් ගලක් උඩින් තියලා පුතාව බලනකොට අයියා දැකලා තියෙනවා පුතාව ගහගෙන යනවා. එතකොට තමයි අයියා පුතාව ගන්න ගිහින් තියෙන්නෙ. ගහගෙන ගිය කට්ටිය ගල් පරවල හා වැල්වල එල්ලිලා

ගොඩ ආවත් අයියයි පුතයි පේන්නේ නැතුව ගිහින් තිබුනලූ‍. ඉනිමගක් ආකාරයෙන් සකස් කරගත් ලී දඬු කිහිපයක් මගින් දුවයි තවත් මනුස්සයෙක්වයි බේරගෙන තියෙනවා ගමේ කට්ටිය.

අනේ මන්දා මේ පවුලෙ කට්ටියට වෙච්ච දේ ගැන මට හරිම කණගාටුයි මට හිතාගන්නවත් බෑ. අයියයි පුතයි හරියට ගෙදර හිටියේ යාළුවෝ වගේ. ඇඳුමක් ගත්තත් එකම පාට ඇඳුම් තමයි ඒ දෙන්න ගන්නේ. ගෙදර තාත්තා හිටියේ නැත්තං අවශ්‍ය බඩු මහරගමට ගිහිල්ල අරන් එන්නෙත් ගොඩ වෙලාවට පුතාම තමයි. පුතාගේ වයස අවුරුදු දාහතරයි. පුතා ඉගෙනුමට ගොඩක් දක්ෂයි. එයා ඉගෙන ගත්තෙ ගත්තේ කොළඹ කේරි විද්‍යාලයේ 09 වසර පන්තියේ, අක්කා රස්සාවකට ගියේ නැහැ. දුව ඉගෙන ගන්නේ කොල්ලූ‍පිටියේ ලින්සේ බාලිකා විද්‍යාලයේ. එයාට වයස අවුරුදු 18යි.

තුෂාරි අක්කා බොහොම නිහඬ චරිතයක් හේමන්ත අයියත් එහෙමයි. ඒ දෙන්න බොහොම සමගියෙන් සමාදානයෙන් දරුවො දෙන්නත් එක්ක පවුල් ජීවිතය ගත කළා. කාටවත් කරදරයක් හිංසාවක් කරන්න හීනෙකින්වත් හිතපු අය නෙවෙයි. නැති බැරි අයට ගොඩක් උදව් කළා. අයියයි පුතයි සංගීතයට බොහොම ප්‍රිය කළා. සමහරක් වෙලාවට ෆෝන් එකට ඉයර්ෆෝන් හයි කරගෙන ඊයර්ෆෝන් එකේ කෑලි දෙක අයියගේ කනේ එකකුත් පුතාගේ කනේ එකකුයි ගහගෙන තමයි ඉන්නේ. මේ දෙන්න හරියට එක කුස උපන් සහෝදරයෝ වගේ ළඟින්ම හිටියේ. ඔය සිද්ධිය වෙලා අයියගෙයි පුතාගෙයි සිරුරු දෙක හොයා ගන්න කොට දෙන්න එකට බදාගෙන තමයි ගල් පරය අස්සෙ හිර වෙලා ඉඳල තියෙන්නෙ මට මීට වඩා දේවල් කියන්න හරිම අමාරුයි. දරාගන්න වාවන්න බෑ යැයි අනතුරට ලක්වී මිය ගිය හේමන්ත කුමාර සුද්ද සිංහලගේ මහතාගේ ඥාති සහෝදරියක් වන චන්දිමා සුරවීර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ඉකුත් 15 වන දින හල්දුම්මුල්ල, කළුපහන, පාලම් දෙක අතර වේලිඔයේ දිය නෑමට ගොස් අතුරුදන්වූ (52) හැවිරිදි හේමන්ත කුමාර සුද්ද සිංහල මහතා සහ (14) හැවිරිදි තුල්නිත් හේසර නැමැති සිසුවාගේ මළ සිරුරු දෙක දිය නාමින් සිටි ස්ථානයේ සිට මීටර් 800 ක් පමණ දුරින් පිහිටි ගල් පරයක් තුළ තුළ සිර වී තිබියදී පොලිසිය හා ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබිණි. මළ සිරුරු දෙක 16 වැනි දින දහවල් සොයාගෙන තිබූ අතර හල්දුම්මුල්ල මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව හදිසි අනතුරට ලක්වීමෙන් මියගිය හේමන්ත කුමාර මහතාගේ උපන් ගමෙහි පිහිටි බණ්ඩාරවෙල නිවසට මෘත දේහයන් දෙක ගෙන ගොස් තිබූ අතර පෙරේදා(17) දින සන්ධ්‍යාවේදී ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසුව ඔවුන් පදිංචිව සිටින මහරගම, පමුණුව, දෙල්ගහවත්ත පාර ප්‍රදේශයේ පිහිටි නිවසට (18) වන දින රැගෙන ඒමෙන් පසුව උදෑසන දහයයි තිහට පමණ මහරගම, පමුණුව සිරි මංගලාරාම විහාරස්ථානයෙන් වැඩම කළ විහාරාධිපති හබරකඩ ශීලානන්ද , මීරිගම, බෝතලේ ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති විහාරාධිකාරී අකුරැස්සේ සත් ධර්මානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් පැවැත්වූ ආගමික වතාවත්වලින් අනතුරුව දේහයන් දෙක එකම වළක් තුළ දේහයන් දෙක බහා තිබූ පෙට්ටි දෙක ළඟින් සිටින ආකාරයට භූමිදාන කිරීම මහරගම ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කළේය.

එස්.ඞී. අබේසිංහ – මහරගම

දිවයින

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?