AFC Banner
Empty Ad
Empty Ad

සිනා සිසී වැඩකළ නගරික පොලිස් මහතාගේ දුක හිතෙන කතාව

ශ‍්‍රී ලංකා පොලිසිය යනු අපේ රටේ පොදු මහජනතාව සමඟ ඒ තරම් මිත‍්‍රශීලීව කටයුතු කළ සහ කරන ආයතනයක් ලෙස සැළකෙන්නේ නැති තරම් ය.
 
එහෙත් අවශ්‍ය ඕනෑම විටක දී මහජනතාව අතරට ගොස් ඕනෑම තරාතිරමක ගැටලූවක්, මහජන අරගලයක් කතාබහ කර විසඳන්නට සමත් පොලිස් නිලධාරීන් ද පොලිසිය තුළ සිටියේ නැතුවා නොවේ. එස්. එස්. පී. සුසන්ත පේ‍්‍රමලාල් රණගල මහතා ද එවන් මහජන පොලිස්කාරයකු ලෙස ප‍්‍රකට ය.
 
ශ‍්‍රී ලංකාවේ පොලිසියේ සිටි කීර්තිමත් පොලිස්පතිවරයකු වූ චන්ද්‍රා ප‍්‍රනාන්දු මහතා වරක් රණගලව හැඳින්වූයේ (එයැ ඉැිඑ මරඉ්බ චදකසජැප්බ) හොඳම නාගරික පොලිස්කාරයා කියාය. ඒ එවකට නාගරිකව ඇති වන ශිෂ්‍ය අරගල, කම්කරු අරගල හා මහජන අරගල විසඳීමට සමත් ඔහු තරම් මිත‍්‍රශීලී පොලිස් නිලධාරියකු පොලිසිය තුළ තවත් නොසිටි නිසා ය.
 
 නිරතුරුව සිනහවකින් මුව සරසාගෙන සිටියත් පොලිසිය ඇතුලේ ඔහු රාජකාරි කළේ සිනහවකින් සියල්ල ඉවසිය හැකි රාජකාරිමය පරිසරයක් සහිත වටපිටාවක නොවේ. කැපිලි කෙටිලි, නොතකා හැරිලි, කකුල් මාට්ටු දැමිලි, කකුලෙන් ඇදිලි ආදී කරදර හිරිහැර රැසක් මැදය. ඒ කිසිවක් පොලිසියේ වරදින් සිදුවූ දේවල් ලෙස සැලකෙන්නේ නැත. එහෙත් ඒවා දේශපාලනමය බලපෑම් නිසා සිදු වූ අක‍්‍රමිකතා හා පළිගැනීම් නිසා සිදු වූ ඒවා බව බැහැර කළ නොහැක.
 
 සුසන්ත පේ‍්‍රමලාල් රණගල මහතා මා හොඳාකාරව දන්නා පරිදි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ දේශපාලන පවුලකින් සමාජගත වූ අයකු වුවත් ඔහු එම පක්ෂයට ලැදිකම් කළ පොලිස්කාරයකු නොවීය. ඔවුන්ගේ පාලන සමය තුළ නිසි කලට නිසි වෙලාවට ඔහුට ලැබිය යුතු නිසි උසස්වීම් කිසිවක් නොලැබී ගියේ ඒ නිසා වන්නට ඇත.
 
 ඔහුට කිසිදු දේශපාලනයක් නොවී ය. එහෙත් දේශපාලනයේ ඔහුට බොහෝ හිතවතුන් සිටියහ. ඒ හිතවතුන් වෙනුවෙන් පපුව දෙන්නට වුව ඔහු පසුබට නැත. හිටපු ජනාධිපති, වත්මන් අගමැති ධූරන්ධර මහින්ද රාජපක්ෂ මැති`දුන් ද ඔහුගේ එබඳු හිතවතකු ලෙස ප‍්‍රකටය.
 
අද සුසන්ත පේ‍්‍රමලාල් රණගල මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ලෙස විශ‍්‍රාම ලැබ සිටියත් ඔහු සිටිය යුත්තේ විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස ය. නැතහොත් විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙසය. ඒ තරාතිරම ඔහුට අහිමි කළේ දෛවය නොව, දේශපාලන පලිගැනීම් යැයි කිවහොත් නිවැරැදි ය.
 
 වරෙක ප‍්‍රධාන පොලිස් පරීක්ෂකව රණගල මහතා නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිව සේවය කරන සමයෙහි අද සමාජය වඩාත් සංවාදයට තුඩු දී ඇති පොලිස් නිලධාරියකු වන ශානි අබේසේකර නම් සුප‍්‍රකට පොලිස්කාරයා පසු වූයේ ඔහු යටතේ සිටි කණිෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකු ලෙස ය. එහෙත් ඔහු පැන පැන උඩට ගියේ ය. රණගල ඉබිගමනින් පෙරට ගියේ ය. උසස් වීම් සම්බන්ධයෙන් දෙදෙනා අතර මෙම වෙනස ඇති වූයේ දේශපාලන ගැතිකම් හා පක්ෂපාතීකම් ඇති නැති පරතරය නිසා ය.
 
 කලට වේලාවට උසස්වීම් ලැබුණු දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර පුද්ගලයකු වූයේ නම් ශානි නියෝජ්‍ය පොලිස්පති වන්නට බොහෝ කලකට පෙර රණගල නියෝජ්‍ය පොලිස්පති වන්නේ ය.
 
 කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු ලෙස 1979 අපේ‍්‍රල් මස 23 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයට එක් වූ රණගල සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස උසස්වීම් ලබන්නට වසර 21 ක කාලයක් ගත කළේ ය. එය 1993 දී ඔහුට හිමිවිය යුත්තක්ව තිබිණි. මාධ්‍යවේදීන් සමඟ කොතරම් ලෙංගතුව කටයුතු කළත් සිනා සිසී රාජකාරිය කළත් රණගලගේ පොලිස් සේවා කාලය ඇතුලාන්තයේ ඛේදවාචකය එබඳුය.
 
 2000 වසරේදී ඔහුට සාධාරණය ඉටු විය. සැබවින්ම එය පමා වී පැමිණි වසන්තයකි. ත‍්‍රිකුණාමලය උප්පුවේලි ප‍්‍රදේශයේ මෙහෙයුම් භාර සහකාර පොලිස් අධිකාරිවරයා ලෙස උසස් වීම තුළ ඔහුට සේවය කරන්නට සිදුවිය.
 
 දේශපාලන පලිගැනීම්වලට ගොදුරු වන්නට ද ඔහුට හේතු ගණනාවක්ම තිබිණි. 2010 වසරේ ජනාධිපතිවරණය වන විට ඔහු සිටියේ අම්පාර කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා ලෙස ය. ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වූයේ සරත් ෆොන්සේකා මහතාය. එදා ඔහු අම්පාරේ පැවති ප‍්‍රචාරක රැළියක දී පළමු වරට රණගලට තර්ජනය කළේ තමන් ජනාධිපති වූ පසුව රණගලගේ නිල ඇඳුම ගලවා අම්පාර නගරයේ ඉබාගාතේ ඇවිද්දනවා යැයි කියමිනි. රණගල නම් පොලිස්කාරයා මහින්ද රාජපක්ෂගේ එහෙයියෙකු යැයි කියමින් එදා ඔහු බැණ වැදුණේය.
 
 2012 වසරේ සැප්තැම්බරය වනතුරු අම්පාරේ සිටි රණගල එවකට රටේ ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මැති`දුන්ගේ අණ පරිදි කොළඹට ආවේ කොළඹ දකුණු කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස උසස් වීමක් ද ලබමිනි. එතැන් සිට කොළඹ නගරය තුළ හා තදාසන්න ප‍්‍රදේශවල පැවති, රජයට එරෙහි සියලූ උද්ඝෝෂණ හා අරගල මැ`ඩපැවැත්වීමේ වගකීමේ අංක එකේ කාර්යභාරය පැවරුණේ සුසන්ත පේ‍්‍රමලාල් රණගල වෙතටය. ඒ සමයේ අග විනිසුරුවරිය ලෙස සිටි ශිරානි බණ්ඩාරනායක මැතිනිය විසින් මාධ්‍ය අමතා පුවත්පත් සාකච්ඡා වකට සූදානම් වෙද්දී එය වළකන ලද්දේද රණගල විසිනි. ඇය ඒ බව පසු කලෙක ‘‘යුක්තිය” නැමැති ග‍්‍රන්ථයේ ද සවිස්තරාත්මකව දක්වා තිබීම විශේෂත්වයකි.
 
 2015 වසරේ ජනාධිපතිවරණය අවස්ථාවේ විශේෂ සිදුවීම් ගණනාවක් විය. කොළඹ දකුණ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස ඔහුට බොහෝ අරගලවලට මැදිහත් වන්නට සිදු විය. පැවැති ආණ්ඩුවට පක්ෂපාතීව වැඩ කිරීම හේතුවෙන් 2015 න් පසු බලයට පත්වූ අලූත් ජනාධිපතිවරයාගේ හා අලූත් ආණ්ඩුවේ උදහසට ද ඔහු ලක් වූයේ ඒ නිසාය.
 
 අලූත් ආණ්ඩුවේ අලූත් ජනාධිපතිවරයා හා අලූත් අගමැතිවරයා දිවුරුම් දුන් උත්සවය කොළඹ ටොරින්ටන් චතුරස‍්‍රයේ පැවති අවස්ථාවේ එම ප‍්‍රදේශය භාර පොලිස් ප‍්‍රධානියා වූයේ පේ‍්‍රමලාල් රණගලය. එහෙත් ඔහුට එම පළාතකටවත් ළංවිය නොහැකි ලෙස තහනම් කරනු ලැබ තිබිණි. රවී කරුණානායක හා රනිල් වික‍්‍රමසිංහ එවකට චෝදනා කර තිබුණේ රණගල මහින්දගේ එහෙයියකු කියාය. මහින්ද රාජපක්ෂ පැරදුණු අවස්ථාවේ කොල්ලූපිටියට පොලිස් හමුදාවක් ගෙනවිත් මහා අරගලයක් කරන්නට සූදානම්ව සිටියේ රණගල බව ඔවුන් එදා අහේතුකව චෝදනා න`ගා තිබුණි.
 
 ඉන් පසුව රණගල නම් පොලිස්කාරයා වෙනුවෙන් දේශපාලන පළිගැනීම් ආරම්භ විය. රණගලට කොළඹ කොට්ඨාශය භාර දී බදුල්ල කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස මාරු වී යන්නට සිදුවිය. නිල රථයක් තබා වාඩිවීමට පුටුවක් මේසයක් පවා නැති තත්ත්වයක ඔහුට රාජකාරි කරන්නට සිදු විය. මෙම තත්ත්වය මත හදිසියේ ඇති වූ හෘදයාබාධයක් නිසා දැඩිසත්කාර ගතවූ රණගලට හෙලිකොප්ටර් එකකින් කොළඹ පැමිණ නවලෝක රෝහලේ ප‍්‍රතිකාර ලබන්නට සිදුවිය.
 
 අසනීප තත්ත්වය ද නොසලකා ඉන්පසුව ඔහු මාතර කොට්ඨාසය වෙත මාරුකර යැවිණි. ඒ ද මාතර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර තනතුරට ය. පොලිසියේ ඉහළ පොලිස් නිලධාරියකුගෙන් පළිගැනීමට එවකට තිබූ ජනප‍්‍රිය ස්ථාන මාරුවක් ලෙස එය සැලකිණි.
 
 අවසානයේ සිනාසිසී සේවය කළ මේ ජනතාවගේ පොලිස්කාරයා, නාගරික පොලිස් නිලධාරියා 2016 අපේ‍්‍රල් මස 8 වැනිදා පොලිස් සේවයෙන් විශ‍්‍රාම ගනු ලැබී ය. සිනහ සිසී ගෙදර ගියේය. වාසනාවකට මෙන් අවසාන මාස කිහිපය ඔහුට සිනාසෙන්න තරම් ඉස්පාසුවක් ලැබුනේ මිරිහාන 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නට අවකාශයක් ලැබීම තුළ ය.
 
 සුසන්ත පේ‍්‍රමලාල් රණගල නිසැකයෙන්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරියෙකි. රැකියාවේ ඉදිරියට යෑමට දෛවය විසින් ඔහුට බොහෝ අවස්ථා ඉඩකඩ හා දක්ෂතා සලසා තිබුණත් දේශපාලන පළිගැනීම් හේතුවෙන් ඒ සියල්ල අහිමි කරගත් පොලිස්කාරයෙකි. වත්මන් රජය විසින් පත් කළ දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ගේ පැමිණිලි කොමිසම වෙත ඔහු ගියේ ඒ වෙනුවෙන් ඔහුට සාධාරණයක් ඉටු වේ යැයි කියා නොම`ද බලාපොරොත්තුවකින් යුතුව ය.
 
 ඒ සඳහා ඔහු 2019-11 වන මාසයේදී අගමැතිතුමාට පවා ලිඛිතව අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර අගමැතිවරයා එය අදාළ කොමිසම වෙත යොමු කළ බවද දන්වා පණිවිඩයක් එවා තිබිණි.
 
 ඔහු මේ අභියාචනය තුළ මහා දෙයක් ඉල්ලා සිටින්නේ නැත. නිසි කලට නිසි වේලාවට ලැබිය යුතුව තිබුණු ඔහුට හිමි නියෝජ්‍ය පොලිස්පති තනතුර පමණක් එහි ගෞරවය සමඟ ඔහු ඉල්ලා සිටින්නේ සිය පොලිස් ජීවිතයේ විශ‍්‍රාමික දිවිය ඉදිරියේදීවත් සතුටින් ගත කර දමන්නට හිතාගෙනය. මෙබඳු නිලධාරීන් 4 දෙනකුට දැනටමත් මේ සාධාරණය ඉටුකර ඇති බවද නොකිවමනාය. දැන් පූර්වාදර්ශ ද ඇත්තේය.
 
 ඉතින් ගරුතර අගමැතිතුමනි, ගරුතර ජනාධිපතිතුමනි, ගරුතර ආරක්ෂක අමාත්‍යතුමනි මේ නිර්ව්‍යාජ අහිංසක ඉල්ලීම ඉවත දමන්නට කාරණාව කිම…?

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?