සමරිසි සංචාරක ප්‍රවර්ධන ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපති අභියාචනාධිකරණයට දැනුම් දෙයි

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද (10) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

අදාළ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදුකළේ.

ඉන් අනතුරුව පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා මෙම පෙත්සම මාර්තු මස 04 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපියක් බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා එහි වගඋත්තරකරුවන්ට නොතීසි යැවීමට පසුගිය නඩුවාරයේ දී පියවර ගනු ලැබුවා.

ඒ, අනුව වගඋත්තරකාර පාර්ශ්වයන් අද (10) අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු දක්වනු ලැබුවා.

දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම අද (10) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා..

එහිදී සභාපති විනිසුරුවරයා පෙත්සම්කාර පාර්ශවය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයට අදාළව අතුරු තහනම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරනවාදැයි ප්‍රශ්න කළා.

ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළව අතුරු තහනම් නියෝග ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

එසේ නම් වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කර ඔවුන් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශවයට නියම කළා.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ, මෙම සිද්ධියට අදාළව ලිපිය ඉවත් කරගෙන ඇති බවට රජය විසින් ප්‍රකාශ කර තිබෙන කරුණ ජනමාධ්‍යවලින් වාර්තා කර තිබූ බවයි.

රජය එසේ ප්‍රකාශ කළ බවට ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණ ද මේ සම්බන්ධයෙන් තම සේවාදායකයින් අධිකරණය වෙතින් නියෝගයක් අපේක්ෂා කරන බව නීතිඥ විතාරණ සඳහන් කළා.

සමරිසි ප්‍රජාව කේන්ද්‍ර කරගත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට වගඋත්තරකරුවන් දරණ ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් නීතිඥ කනිෂ්ක විතාරණ මෙහිදී චෝදනා කර සිටියා.

ඉන් අනතුරුව මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 04 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ඊක්වල් ග්‍රවුන්ඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ යන අය නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් වගඋත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෙත ලිපියක් යොමු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

එම ලිපිය තුළින් වගඋත්තරකාර සභාපතිවරයා ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව සඳහා වූ සංචාරක ව්‍යාපාරය සංවර්ධනය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට එකඟතාවය පළ කර තිබෙන බව පෙත්සම්කරුවන් චෝදනා කළා.

මෙම ලිපිය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීමෙන් පසුව මතුවූ මහජන විරෝධය මෙන්ම මහා නාහිමිවරු සහ කාදිනල් හිමිපාණන් විරෝධය පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් රජය තුළ නොමැති බව සඳහන් කළ බවත් පෙත්සම්කරුවන් කියා සිටියා.

ඊට අමතරව විදේශ අමාත්‍යවරයා ද එම ප්‍රකාශයම සිදුකළ බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම රාජ්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කර අදාළ ලිපිය නිකුත් කර ඇති බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදනද උල්ලංඝනය කිරීම සිදුවී ඇති බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ එම ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරීයේ සභාපතිවරයා විසින් නිකුත් කර ඇති ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සංකරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව ශ්‍රී ලංකා තුළ සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වගඋත්තරකාර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?