AFC Banner
Empty Ad
Empty Ad

සචිත්‍ර සේනානායක රිමාන්ඩ්

මුදලට තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබෙනවා.

මෙම සැකකාර ක්‍රීඩකයා ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය විසිනුයි අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ.

සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම සිද්ධියට අදාළව වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බව විමර්ශන නිලධාරීන් විසින් ප්‍රකාශ කරන බවයි.

ඊට අමතරව මෙම සැකකරු හා සම්බන්ධ හඬපටයකට අදාළව රජයේ රස පරීක්ෂකවරයා හමුවේ හඬ පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතව ඇති හෙයින් මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් එම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට හැකියාව තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා කියාසිටියා.

ඒ අනුව ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් සැකකාර ක්‍රීඩකයා කටහඬ පරීක්ෂණය සඳහා ලබන 13 වනදා පෙරවරු 9ට රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කරන ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ අංශය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්

” ස්වාමීනි.. ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ මෙම විමර්ශනය සිදු කෙරෙනවා. 2020 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඇලෙක්ස් මාෂල් නැමැති නිලධාරියෙකු එවක ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙම විමර්ශනය ආරම්භ වුණේ. එම පැමිණිල්ලට අනුව 2020 වසරේ පැවති එල්ල.පී.එල් ක්‍රිකට් තරඟාවලියේදී කලම්බු කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ ධම්මික ප්‍රසාද් සහ තරිඳු රත්නායක යන ක්‍රීඩකයන් දෙදෙනාට අඩුවෙන් ක්‍රීඩා කිරීමට හෝ පක්ෂග්‍රාහී ආකාරයෙන් ක්‍රීඩා කරන ලෙස මෙම සැකකරු පෙළඹවීම් සිදු කර තිබෙන බවට විමර්ශන වල දී කරුණු අනාවරණය වුණා. මෙහිදී ධම්මික ප්‍රසාද් නමැති ක්‍රීඩකයාට “ස්ටැබී” නැමැති පුද්ගලයෙකු විදේශයක සිට දුරකථනයෙන් කතා කර තිබෙනවා. මෙම තරගාවලියට ක්‍රීඩා කළොත් ලැබෙන්නේ ඩොලර් 50,000ක පමණ මුදලක් බවත් තමන් කියන ආකාරයට ක්‍රීඩා කලොත් විට වඩා වැඩි මුදලක් උපයාගත හැකි බවත් මෙම පුද්ගලයා ධම්මික ප්‍රසාද් නැමැති ක්‍රීඩකයාට යෝජනා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සැකකාර සචිත්‍ර සේනානායක නැමති ක්‍රීඩකයා ද මැදිහත් වී ධම්මික ප්‍රසාද් නමැති ක්‍රීඩකයාට දුරකථන ඇමතුම් 12ක් පමණ ලබා දී බලපෑම් සිදු කර තිබෙනවා.”යනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියාසිටියා.

වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා” පසුව “ෂහීඩ්” නමැති පුද්ගලයකු තරිඳු රත්නායක නැමැති ක්‍රීඩකයාට විදේශයක සිට දුරකථනයෙන් කතා කර තිබෙනවා. එවිට තරිදු රත්නායක එම පුද්ගලයාගේ දුරකථන අංකය අවහිර කර තිබෙනවා. එවිට තරිදු රත්නායකට කතා කළ මෙම සැකකාර ක්‍රීඩකයා අදාල දුරකථනය අංකය අවහිර කළේ ඇයිදැයි ප්‍රශ්න කර තිබෙනවා ඒ වගේම ෂහිඩ් නැමැත්තා දුරකථන ඇමතුමක් ලබා දීම පිළිබඳව ක්‍රීඩා විමර්ශන ඒකකයට පැමිණිලි නොකරන ලෙසත් ඉල්ලීම් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තරිඳු රත්නායක නැමැති ක්‍රීඩකයාට වැඩිදුර දෝෂාරෝපණ එල්ල කළ සැකකරු “උඹලට උදව්වක් කරන්න ගියාම උඹලා පණ්ඩිත වෙනවා. මේ නම්බර් එක දෙන්න එපා. ඕක මකා දාන්න” යනුවෙන් බලපෑම් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මෙම ස්ටැබී සහ ෂහීඩ් යන විදේශීය පුද්ගලයින් දෙදෙනා බුකි කරුවන් ලෙසයි විමර්ශකයන් විශ්වාස කරන්නේ. මෙම සැකකාර ක්‍රීඩකයා ඔවුන්ගේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කර ඇති ආකාරයකුත් විමර්ශනවල දී පෙනී ගොස් තිබෙනවා. මෙම ජාලය පිටුපස ප්‍රබල පුද්ගලයින් සිටින බවටත් කරුණු අනාවරණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අප විමර්ශන සිදුකළ යුතුයි. මෙම සැකකරු පදිංචිය මගහැර විමර්ශනවලට සහය නොදී සිටින පුද්ගලයෙක්. විමර්ශන වලට අවශ්‍ය දුරකථනයක් ඉල්ලා සිටියත් ඔහු එම දුරකථනයක් ලබා දුන්නේ නෑ. ඔරු පදින අවස්ථාවේ ජලයට වැටී එය විනාශ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම මෙම සැකකරු අදාළ චෝදනාවලට වරදකරු වුනොත් රුපියල් මිලියන 100 ක් නොඉක්මවන දඩයක් සහ බරපතළ වැඩ සහිත වසර දහයක් නොඉක්මවන සිරදඬුවමක් පැනවීමේ හැකියාවත් අධිකරණයට තිබෙනවා.” ඒ අනුව මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් ඔහු අධිකරණය මගහැර පළා යාමේ ප්‍රවණතාවක් පවතින හෙයින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කළ ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව සැකකාර සචිත්‍ර සේනානායක මහතා වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරාල මහතා කරුණු ඉදිරිපත් කළා.

” ස්වාමීනි ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණය තුරන් කිරීමට අවශ්‍ය නම් එය ආරම්භ කළ යුත්තේ සචිත්‍ර සේනානායකගෙන් නෙවෙයි. එය ආරම්භ කළ යුත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔට්ටු තබන වෙබ් අඩවි ගණනාවක ලියාපදිංචි වී තිබෙනවා. මාගේ සේවාදායකයා ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය පුද්ගලයෙක්. ඔහු මුදලට විවිධ කණ්ඩායම් සමඟ ක්‍රීඩා කරනවා. තම සේවා දායකයා පදිංචිව මගහැර විමර්ශන වලට සහාය නොදී සිටින බවට පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන කරුණු සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. කැඳවීම් ලද සෑම අවස්ථාවකම මාගේ සේවාදායකයා විමර්ශන කණ්ඩායම් හමුවේ පෙනී සිටියා. අදත් ඒයාකාරයෙන්ම පෙනී සිටීමක් සිදුකළා. විමර්ශන පැවැති පසුගිය කාලසීමාව තුළ ඔහු හය වතාවක් විදේශගතව ආපසු මෙරටට පැමිණියා. විමර්ශන මඟ හැර පළා යාමට සූදානම්ව සිටින පුද්ගලයෙක්නම් විදේශගතවී මේ ආකාරයෙන් ආපසු මෙරටට පැමිණෙන්නේ නෑ. ඔහු දෙදරු පියෙක්.” මෙම සියළු කරුණු සැලකිල්ලට ගෙන සැකකරු ඇප මත මුදා හරින ලෙස ද විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා අධිකරණය ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
1
+1
3
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?