AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් (ඡායාරූප)

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

රජයක් ලෙස බුදු දහම සුරක්ෂිත කිරීමට බැඳී සිටින බවත් ඒ සඳහා මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු නිකායයන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවය පැවැත්වීම පිළිබඳව අද (24) ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවේදීය.

වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම උපසම්පදා විනය කර්ම මහෝත්සවය එළැඹෙන ජූලි 21 වනදා සිට 27 දක්වා මාතලේ, පුරිජ්ජල ශ්‍රී සංඝබෝධි පිරිවෙන කේන්ද්‍ර කර ගනිමින් මහවැලි ගංගාවට අනුබද්ධ සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී පැවැත්වෙන අතර එහි සමාරම්භක උත්සවය සඳහා සාම්ප්‍රදායානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගිවීමට නියමිතය.

1863 ජුනි මස 13 වැනිදා ගාල්ලේ නදී උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදුකරන ලද උපසම්පදා විනය කර්ම මහෝත්සවය සමග රාමඤ්ඤ මහා නිකාය ආරම්භ වූ අතර වසර 160 ක් පුරා පැවති උපසම්පදා විනය කර්ම මහෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරිණි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නිකායාරක්ෂක සභාවේ ප්‍රථම සභාපති ලෙස කටයුතු කරනු ලැබුවේ දිවංගත මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමායි.

ජූලි 21 වන දින මාත‍ලේ සුදු ගඟ උදකුක්ඛේප සීමා මාලකයේ දී සිදු කෙරෙන 73 වන උපසම්පදා විනය කර්ම මහෝත්සවයේ දී සාමණේරයන් වහන්සේලා 200 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවීමට නියමිතය.

මෙවර උපසම්පදා විනය කර්මය සංවිධානය කිරීම සම්බන්ධයෙන් මීළඟ සාකච්ඡාව මැයි 18 වනදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙන අතර එහිදී සියළු රාජ්‍ය ආයතන වෙත පවරනු ලැබූ කාර්යයන්ගේ ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක දැනුම් දුන්නේය.

එම කටයුතු සඳහා ජනාධිපති කාර්යාලයේ අදාළ නිලධාරීන් සම්බන්ධ කර ගන්නා ලෙස දැනුම් දුන් ජනාධිපති ලේකම්වරයා මෙම උත්සවය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නායක ස්වාමීන් වහන්සේ, අනුනායක හිමිවරුන් වන රාජකීය පණ්ඩිත පූජ්‍ය මාතලේ ධම්මකුසල ස්වාමීන් වහන්සේ, පූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රී ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ නිකායික භික්ෂුන් වහන්සේලා ද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, ශ්‍රී ලංකා මහා විහාර වංශික රාමඤ්ඤ නිකායේ නිකායාරක්ෂක සභාවේ විධායක සභාවේ සභාපති දේශබන්ධු කරු ජයසුරිය, භාණ්ඩාගාරික මර්වින් ගුණවර්ධන, ජ්‍යෙෂඨ උප සභාපති කේසර ලාල් ගුණසේකර යන මහත්වරුන්ද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීහුද, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ඇතුළු ආරක්ෂක අංශ නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?