AFC Banner
AFC Banner
Empty Ad

විජේවීරගේ අවසන් පැය24 ගෙවුණු හැටි

ඇය උපන්නේ වසර 1960 නොවැම්බර් 29 වැනිදා ය. හරියටම තවත් සතියකින් වයස අවුරුදු 61කි. මතුගම වළල්ලාවිට ප්‍රාදේශීය කොට්ඨාශයේ ඉත්තෑපානේ උපන් ඇයගේ සම්පූර්ණ නම කුකුලේ කංකානම්ගේ කරුණාවතීය. පදිංචිය පහළවෙල පරෙයිගම හික්ගහවත්තය. පියා කේ. කේ. පීටර් ය. ඔහු ලංකා සමසමාජ පක්ෂයේ කලක් ක්‍රියාකාරිකයෙකි. කළු අක්කාගේ පවුලේ සොයුරු සොයුරියන් ගණන 6 කි. ඉන් තිදෙනෙක් ගැහැනු ය. තිදෙනෙක් පිරිමි ය.

කළු අක්කා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීන සාමාජිකයෙක් වූයේ 1978 දී ය. එතැන් පටන් ඇය රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට ද පූර්ණකාලීනයෙකි. රෝහණ විජේවීර උලපනේදී අත්අඩංගුවට ගන්නා විට සිද්ධිය සියසින් දුටු ඒ නිවසේ සිටි නිවැසියන් 7 දෙනාගෙන් එක් අයෙකි. සෙසු අය වූයේ විජේවීරගේ බිරිය චිත්‍රාංගනී, ගෙයි මුරකරු ලෙස සේවය කළ සයිමන් ඒකනායක, සේවිකාවන් ලෙස සේවය කළ කරුණාවතී සහ හම්බන්තොට ‘සෙව්වන්දි‘ සහ විජේවීරගේ නැඟණිය චිත්‍රාංගනී ඇතුළු හත් දෙනෙකි. ලේලිය චිත්‍රාංගනී සමඟ අදිසි විරසකයක් ඇති කරගෙන සිටි විජේවීරගේ මව සිටියේ පාදුක්කේ ය.

කරුණාවතී විජේවීරගේ නිවෙසේ සේවයට පැමිණියේ විජේවීර අත්අඩංගුවට ගැනීමට හරියටම වසර දෙකයි මාස තුනකට පෙරදී ය. පක්ෂයේ පණිවිඩයක් අනුව පාදුක්කේ මීගොඩට පැමිණි ඇය, ජවිපෙ උපනායක වූ උපතිස්ස ගමනායකගේ මෝටර් රථයෙන් විජේවීරගේ නිවසේ සේවයට පැමිණියේය.

උපතිස්ස ගමනායක මීගොඩට පැමිණෙන ලෙසට කරුණාවතීට දැන්වූ ඒ පණිවිඩය දී තිබුණේ කරුණාවතීගේ වැඩිමහල් සොහොයුරා වන කුකුළේ කංකානම්ගේ සයිමන් හරහා ය. සයිමන් ජවිපෙ පූර්ණකාලීනයකු වූයේ 1976 පෙබරවාරි මස සිට ය. වසර 1986 සිට 1990 දක්වා පැවැති ජවිපෙ දෙවැනි කැරැල්ලේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල නායකයකු වූයේ ද සයිමන් ය. වැලිපන්න පොලිසිය විසින් 1989 සැප්තැම්බර් 18 සයිමන් අත්අඩංගුවට ගැනීමට තැත් කළ අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් සයිමන් ද මරුමුවට පත්විය. එහිදී වැලිපන්න පොලිසියේ උප පොලිස් පරීක්ෂක රණවීරගේ අත ද තුවාල විය.

විජේවීර අත්ඩංගුවට ගැනීමේදී එහි සිටි අනෙක් සේවිකාව වූ සෙව්වන්දි හම්බන්තොට පදිංචිකාරියකි. අපොස (උසස් පෙළ) හදාරමින් සිටියදී ඇය ජවිපෙට එක්ව සිටියාය. විජේවීරගේ නිවසට පැමිණියේ ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිකයකු වූ ඇයගේ පෙම්වතා හරහා ය.

බණ්ඩාරවෙල නෙළුව වත්තට ආරක්ෂක අංශ කඩා වදින්නේ 1989 නොවැම්බර් 08 වැනිදා පස්වරු 8.00ට පමණ ය. ඒ 1989 නොවැම්බර් 05 වැනිදා හෝමාගමදී ‘ඇම්බුස්‘ උගුලකට (සැඟවී සිට එම ස්ථානයට පැමිණෙන අය අත්අඩංගුවට ගැනීම) අසුවීමෙන් අත්අඩංගුවට පත් පැටියා හෙවත් වික්‍රම සමඟ ය. වික්‍රම ජවිපෙට අයත් බණ්ඩාරවෙල නෙළුව වත්තේ වැඩ කළ සේවකයන් 4 දෙනාගෙන් එක් අයෙකි. එහිදී නෙළුව වත්තේ සියලුම සේවකයන් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්විය. එක් අයකු වූ නිව්ටන් උපන් ඇඳුමින්ම කැලයට පැන ගත් අතර දෙදෙනෙක් ආරක්ෂක අංශ විසින් නොවැම්බර් 9 වැනිදා මත්තේගොඩ යුද හමුදා කඳවුරට ගෙන එන ලදී. තවත් අයෙක් නෙළුව වත්තේ බට පඳුර අසලම ඝාතනයට ලක්ව පිළිස්සී දැවී ගියේය.

මත්තේගොඩට නොවැම්බර් 9 වැනිදා ගෙනාවේ නෙළුව වත්තේ සිටි නෙවිල් හෙවත් ලියන මහත්තයා සහ ධර්මේ හෙවත් නන්දසේන ය. කලක් විජේවීර නැවතී සිටි එමෙන්ම ඒ වන විට ද ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම් සඳහා භාවිතයට ගත් ගලහ නිවස දැන ගෙන සිටියේ එම දෙදෙනාගෙන් නෙවිල් හෙවත් ලියන මහත්තයා පමණි. මෙම ලියුම්කරුට වැටලීමට සහභාගි වූ ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනෙකුම දීර්ඝ ලෙස විස්තර කළ පරිදි නෙවිල් සමඟ ආරක්ෂක අංශ ගලහට ගියේය.

ඒ 1989 නොවැම්බර් 12 වැනිදා උදෑසන ය. එහිදී ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයන් වූ පියදාස රණසිංහ සහ එච්.බී. හේරත් ද සිටියේය. එමෙන්ම ඒ වන විට මිය ගොස් සිටි දේශපාලන මණ්ඩල සභික නන්දතිලක ගලප්පත්තිගේ වැන්දඹු බිරිය රංජනී ගමගේ සහ එකම දරුවා වූ ඉසුරු අකලංක ද දන්දෙනිය ආරච්චිගේ කරුණාවතී ද ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් සහ ක්‍රියාකාරීන් දෙදෙනකු ද විය. කාන්තාවන් පසුදින නිදහස් කළ අතර සෙසු අය අත්අඩංගුවට පත්විය.

මෙම මෙහෙයුම සඳහා පැමිණියේ කර්නල් ජානක පෙරේරා, ක්ෂණික විහිදුම් බළකායේ අණදෙන නිලධාරියා වූ කපිතාන් ගාමිණී හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමකි. අත්අඩංගුවට ගත් පියදාස රණසිංහ සහ එච්.බී. හේරත්ට අනේකවිධ වද වේදනා හේතුවෙන් අවසානයේ සිදුවූයේ ඔවුන් සමඟ විජේවීරගේ උලපනේ නිවස දක්වා පිටත්වීමට ය.

දිනය 1989 නොවැම්බර් 12 වැනිදා පෙරවරු 11.37 ය. පියදාස රණසිංහගේ මෝටර් රථය දුටු මුරකරු සයිමන් ඒකනායක ගේට්ටුව විවෘත කළේය. අනතුරුව විනාඩි 5කින් පැමිණියේ වෑන් රථයකි. විජේවීර සාලයේ පුටුව උඩ වාඩි වී සිටියේය. ඒ උපනායක උපතිස්ස ගමනායක හෙවත් කළු අයියා පැමිණෙන තෙක් ය. වෙනත් නිවෙසකට මාරු වීමට විජේවීර ඒ වන විටත් අදහස් කරගෙන සිටි අතර ඒ සඳහා පණිවිඩය ගෙන ඒමට සිටියේ ගමනායක ය. විජේවීර එදින උදෑසන ආහාරය ලෙස ගත්තේ කැකුළු බත්, කිරිහොදි සහ ලුණු මිරිසකි.

නිවෙසට සිවිල් ඇඳුමින් ඇතුළු වූ ආරක්ෂක අංශවලට අයත් භටයන් ඉදිරිපස හා පසුපසට මුරකාවල් තර කළේය. සිදුවන්නේ කුමක්දැයි නිවසේ සිටි සියල්ලන්ටම අවබෝධ වී හමාරය. විජේවීර නිවස පිටුපසින් රහසේම යන්නට තැත් කළේය. ඉදිරිපසින් ගේ ඇතුළට පැමිණි හමුදා නිලධාරීන් විජේවීර කොහිදැයි විමසූ විට බිරිඳ චිත්‍රාංගනී කියා සිටියේ වත්තට ගිය බව ය. එහෙත් නිවස පිටුපස මුරට සිටි සිවිල් ඇඳුමින් සැරසුණු හමුදා භටයකු මඟහැර යන්නට තැත් දරන විජේවීර අතින් අල්ලා ගෙන නිවසට ඇතුළට ගෙනාවේය. හමුදා නිලධාරීහු විජේවීරට උපැස් යුවළ පලඳන්නයි අණ කළහ. ඉන්පසු විජේවීර තම අනන්‍යතාව පිළිගත්තේය.

පැමිණි වෑන් රථයේ බිම වැතිර සිටියේ එච්.බී. හේරත් සහ පියදාස රණසිංහ ය. ඔවුහු සිටියේ තදබල ලෙස වද හිංසාවලට ලක්වී බිම වැතිරගෙන ය. ඇඳගෙන සිටියේ සරොම් ය. හමුදා භටයෝ 5 දෙනකු එහි මුර සිටියෝ ය. වෑන් රථය අසලට පැමිණි විජේවීර ඇතුළු නිවසේ පිරිසට ඔවුහු හඳුනා ගැනීමට අවස්ථාව ආරක්ෂක අංශ විසින් උදා කළේ ය.

විජේවීරගේ දරුවෝ හඬන්නට පටන් ගත්හ. නිවසේ සිටි අයට සිදුව ඇත්තේ කුමක්දැයි අවබෝධ විය. තමා සියලු දේ පිළිබඳව වගකීම බාර ගන්නා බවත් පවුලේ කිසිවකුගෙන් ප්‍රශ්න නොකරන ලෙසත් විජේවීර හමුදා නිලධාරීන්ගේ ඉල්ලා සිටියේය. විජේවීර අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් වහාම එම ස්ථානයෙන් දරුවන් සමඟ පිටව යාම ආරක්ෂාකාරී බව විජේවීරගේ බිරියට කියා සිටියහ. යාමට මුදල් අවශ්‍ය දැයි හමුදා නිලධාරීහු ඇයගෙන් විමසූහ.

හමුදා නිලධාරීන් සමඟ වාහනයට ගොඩවූ විජේවීර මීටර් කිහිපයක් ගොස් යළි පැමිණ බිරියට කියා සිටියේ මොරටුවට යාම අනාරක්ෂිත බැවින් පාදුක්කට යන ලෙස ය. එමෙන්ම චිත්‍රාංගනීගෙන් ඉල්ලා සිටියේ සිය දරුවන් වෙනත් ආගමකට යොමු නොකරන ලෙසය. සිය බිරිය ගැබිණි මවක් බව ද ඔහු ආරක්ෂක නිලධාරීන්ට හෙළි කළේය. විජේවීර කොළඹ ගෙනියන බව ආරක්ෂක අංශ බිරියට දැනුම් දෙන ලදී.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?