රත්නපුරයේ විශ්ව බුද්ධා නැමති හිමිනමට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය

යම්කිසි ප්‍රකාශයකින් යම් පුද්ගලයෙකුගේ සිත් රිදුනු පමණින් එම ප්‍රකාශය සිදුකළ පුද්ගලයා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ “වෛරී ප්‍රකාශය” යන වරද සිදුකළා යැයි තීරණය කළ නොහැකි බව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද තීන්දු කළා.

බුදු දහමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රත්නපුරයේ විශ්ව බුද්ධි නමැති හිමිනමට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට තීන්දු කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මේ බව පැවසීය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විශ්ව බුද්ධි හිමියන් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

බුදු දහමට අපහාසාත්මක වන ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් විශ්ව බුද්ධි හිමියන් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

සැකකාර හිමියන් විසින් සිදු කරන ලද ප්‍රකාශ හා ක්‍රියා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතට අදාළ නොවන බවත් ඒ අනුව අදාල හිමිනම මුදා හරින ලෙසත් සැකකාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මීට පෙර අධිකරණය හමුවේ ඉල්ලීම් කර තිබුණි.

එම ඉල්ලීමට අදාල තීන්දුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් අද මෙසේ ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

“මෙම සැකකරුට එරෙහිව 2007 අංක 56 දරණ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 03 වන වගන්තියේ සඳහන් “වෛරී ප්‍රකාශයක්” සිදු කළේ යැයි පැමිණිල්ල විසින් චෝදනා කර තිබෙනවා. අදාළ පනත තුළ “වෛරී ප්‍රකාශ” යන්න මොනවාදැයි නිසියාකාරව අර්ථකථනය කර නැහැ. අදාළ පනත යටතේ ගැනෙන “වෛරී ප්‍රකාශ” මොනවාද යන්න අර්ථකථනය කෙරෙන මෙරට නඩු තීන්දු ද සොයා ගැනීමට හැකියාවක් නැහැ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය යටතේ “වෛරී ප්‍රකාශ” යන්න මොනවාදැයි අර්ථකථනය කෙරෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් සම්මත කරගෙන තිබෙන “රොබාත් ක්‍රියාකාරී සැලැස්මට” අයත් නිර්ණායකයන්ට අනුකූලව කටයුතු කිරීමට අධිකරණයට සිදුවෙනවා.”යනුවෙන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුවේ සඳහන් කළා.

ඒ අනුව වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ මහේස්ත්‍රාත්වරයා

” රොබාත් නිර්ණායකයන්ට අනුව වෛරී ප්‍රකාශය සිදුකරනු ලබන “කතා නායකයා” සමාජයට බලපෑමක් සිදුකළ හැකි ප්‍රසිද්ධ පුද්ගලයෙකු, දේශපාලකයෙකු, ආගමික නායකයකු වැනි සමාජ බලපෑමක් සිදු කළ හැකි ආකාරයේ තරාතිරමක පසුවන පුද්ගලයෙකු යුතුය. එහෙත් මෙම ප්‍රකාශය සිදුකළ සැකකාර හිමිනම සමාජයට බලපෑමක් සිදු කළ හැකි ආකාරයේ පුද්ගලයෙකු වශයෙන් අධිකරණයට පෙනී නොයයි. ඔහු කවුරුන්ද? යන්න පවා අනාවරණය කරගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සමාජ ජාල ආවේක්ෂණ කටයුත්තක් හරහායි. එතෙක් ඔහු පිළිබඳව පොදුවේ දැනුවත් වීමක් තිබුණේ නැත.” ඒ අනුව අදාළ සැකකාර හිමිනම විසින් සිදුකළ ප්‍රකාශය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ “වෛරී ප්‍රකාශයක්” වශයෙන් අර්ථකථනය කළ නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

වැඩිදුරටත් තීන්දුව ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා” රොබාත් නිර්ණායකයන්ට අනුව යම්කිසි පුද්ගලයෙකුට “වෛරී ප්‍රකාශයක්” සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමේදී ඔහු විසින් සිදුකළ ප්‍රකාශයක් හරහා යම් වාර්ගික, ආගමික, හෝ ජාතීන් අතර ගැටුමක් ඇති වී තිබිය යුතුය. එහෙත් මෙම සැකකාර හිමියන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශ හා ක්‍රියාවන් හරහා බෞද්ධ සමාජය තුළින් ගැටුමක් හෝ නොසන්සුන්තාවක් මතුවූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම වාර්තාවලින් අධිකරණයට ඉදිරිපත් කර නොමැත. යම් පුද්ගලයෙකු සිදු කළ ප්‍රකාශයකින් යමකුගේ සිත් රිදීමක් ඇතිවිය හැකිය. එහෙත් එම ප්‍රකාශය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ “වෛරී ප්‍රකාශයක්” වශයෙන් අර්ථකථනය කිරීමට නම් එම ප්‍රකාශය හරහා සමාජය තුළ කැළඹීමක් ඇතිවී තිබිය යුතුය. එහෙත් මෙම සැකකාර හිමිනම විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය හරහා එවැනි කැළඹීම් තත්ත්වයක් මතුවූ බවට අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් වී නොමැත. එබැවින් ඔහුගේ ප්‍රකාශ හා ක්‍රියා වෛරී ප්‍රකාශය වශයෙන් සැලකිය නොහැක” යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුවෙන් අවධාරණය කර සිටියා.

“එසේම අදාළ පනත යටතේ වෛරී ප්‍රකාශයක් තුළින් යම්කිසි කැලඹීමක් හෝ ගැටුමක් නිර්මාණය වීම සඳහා උසිගැන්වීමක් මතුවී තිබිය යුතුය. එහෙත් මෙම සැකකාර හිමිනමගේ ප්‍රකාශ හරහා එවැනි නොසන්සුන් ක්‍රියාවන්ට උඩ ගෙඩි දීමක් හෝ උසිගැන්වීමක් සිදුවී ඇති බවට කරුණු ඉදිරිපත් වී නොමැත” යනුවෙන් කරුණු දක්වා සිටි මහේස්ත්‍රාත්වරයා ඒ අනුව අදාළ සැකකාර හිමිනමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ 03 වන වගන්තිය යටතේ “වෛරී ප්‍රකාශ” සිදු කිරීම යන චෝදනාව පත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් තීන්දු කළේය.

ඒ අනුව සැකකරු එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැකියාවක් නොමැති බවත් ඔහු ඇපමත මුදා හරින බවත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කෙසේ වෙතත් මෙම සැකකරුගේ ප්‍රකාශය හරහා දණ්ඩ නිති සංග්‍රහයේ 290 වන වගන්තිය යටතේ විමර්ශන සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

අපේ අනුව මෙම පැමිණිල්ල නැවත මාර්තු මස 27 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
5
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?