කොළඹ – අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළ දී අද (19) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ගනේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්න නමැත්තා ජීවිතක්ෂයට පත් වුණා.
සිද්ධිය වූ අවස්ථාවේ දී පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි.
ඒ අවස්ථාවේදී ම වෙඩිතැබීම සඳහා යොදා ගත් රිවොල්වරය ද අධිකරණ ශාලාව තුළ වැටී තිබීයදි සොයා ගැනුණා.
නඩු කටයුත්තක් වෙනුවෙන් ගනේමුල්ල සංජීව අද පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙනවිත් තිබුණා.
එහිදී චූදිතයා අධිකරණ ශාලා අංක 05 වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී විත්තිකරු විත්ති කූඩුවේ සිටගෙන සිටියදී ක්‍රියාත්මක වූ වෙඩික්කරු වෙඩි පහර කිහිපයක් අදාළ මරණකරුගේ පපු ප්‍රදේශයට එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අවස්ථාවේ දී විත්තිකරු විත්ති කූඩුව තුළ ඇඳ වැටුණු අතර පොලිස් නිලධාරීන් ,විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව කඩිනමින් අධිකරණ පරිශ්‍රයෙන් පිටතට රැගෙනවිත් වෙඩි වැදුණු සැකකරු රෝහල්ගත කිරිමට පියවර ගත්තා.
‘වෙඩික්කරු තවමත් අධිකරණ භූමිය තුළ සිටියි’ යැයි සැක කෙරුණු අතර කිසිවෙකුට පිටතට යාමට නොදී දැඩි ආරක්ෂාවක් මත විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා.
එහිදී අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව ද තර කිරීමට පොලිසිය පියවර ගත්තා.
එම ස්ථානයේ ඇති ආරක්ෂිත කැමරා දර්ශන කඩිනමින් ලබාගත් පොලිසිය අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මේ වන විට හඳුනාගනෙ ඇති බව ද දසත අධිකරණ වාර්තාකරු පැවසුවා.
වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ සැකකාර සංජීව නමැත්තා කඩිනමින් රෝහල්ගත කිරීම සඳහා රැගෙන ගිය ද කොළඹ ජාතික රෝහලේ දී ඔහු ජීවිතක්ෂයට පත් වුණා.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා සිටියේ, අදාළ පුද්ගලයාගේ පපුවට වෙඩිවැදී තිබූ බවත් පැය දෙකක් පමණ කාලයක් මෘත ශරීරය වාට්ටුවේ තබා ඉන් අනතුරුව මෘත ශරීරාගාරයට පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කරන බවයි.
නේපාලයේ කත්මන්ඩු නුවර සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් 2023 සැප්තැම්බර් 13 වැනි දා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ගනේමුල්ල සංජීව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම්වලින් අනතුරුව බුස්ස බන්ධනාගාරය තුළ රඳවා සිටියා.
මෙම සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ පොලිසියේ ආරක්ෂාව මධ්‍යයේ
නඩු කටයුත්තක් සඳහා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙන ආ අවස්ථාවේ දී මෙම වෙඩිතැබීම සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කළා.
මනුෂ්‍ය ඝාතන 19ක් සම්බන්ධයෙන් මේ වනවිට ගනේමුල්ල සංජීවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු පාතාල කල්ලි සාමාජිකයෙක් වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා ලෙසයි සැලකෙන්නේ.
‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තාගේ පියා ඝාතනය කිරීමේ චෝදනාව ද ගනේමුල්ල සංජීවට එල්ල වී තිබුණා.
වෙඩි තැබිමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි මහජන ආරක්ෂක නීතිඥ සුනිල් වටගල මහතා පැවසුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී සිදු වූ වෙඩිතැබීමට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.
සිද්ධිය වාර්තාවීමත් සමග අද උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් එහි පැමිණ සිටි මාධ්‍යවේදීන් සිදුකළ ප්‍රශ්නකිරීම්වල දී ඔහු ඒ බව කියා සිටියා.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද අදහස් පළ කළා.
එහිදී ඔහු සඳහන් කළේ පාතාලය මර්දනය කිරීම සඳහා පියවර ගණනාවක් ගෙන ඇති බවත් ඒවා සියල්ල පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කිරීමට නොහැකි බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී මේ පිළිබඳව ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉහත පැහැදිලි කිරීම කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,
“කථානායකතුමා, මේ අවස්ථාවේ අලුත්කඩේ උසාවියේ ලෝයර් කෙනෙක් විදියට ඇවිත් වෙඩි තියලා ගියා. අංක 5 අධිකරණයේ. ගනේමුල්ල සංජීව කියලා කෙනෙක් ඝාතනය කළා..
ඊයේ රාත්‍රියේ මිද්දෙණියේ ළමයි දෙන්නෙක් එක්ක වෙඩිතැබීමක්. අලුත්කඩේ දැන් සිද්ධ වුණේ. දැන් මේක මේ රටේ ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක්. දැනට වෙඩි තැබිම් 78ක් පමණ වාර්තා වෙලා තියෙනවා”
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරමින් ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ,
“පාතාල කටයුතු ගැන ආණ්ඩුව වගකීමෙන් කටයුතු කරනවා. ඒ නිසා අරගනිමින් තිබෙන ක්‍රියාමාර්ග ගණනාවකුත් තිබෙනවා. හැබැයි පාතාලය, කළු සල්ලි, කුඩු ජාවාරම මේකට සම්බන්ධයි. මේකට සම්බන්ධ සමහර අය ලංකාවෙත් නෙමෙයි ඉන්නේ.අපි මේක ඉතාම ගැඹුරින් සලකනවා කියන එක කියන්න කැමතියි. පියවර ගණනාවක් ගෙන තිබෙනවා. සියලු පියවර පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න බැරි වෙයි. නමුත් රජය මේ පිළිබඳව දැඩිව මැදිහත් වෙනවා. පාතාලයට බුරුලක් දෙන්නේ නැහැ..” යනුවෙන්.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් 2023 සැප්තැම්බර් 13 වැනිදා පස්වරුවේ ගනේමුල්ල සංජීව අත්අඩංගුවට ගත් බව එවකට ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළා.
නේපාලයේ කත්මණ්ඩු නුවර සිට මෙම සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.
සේනාධීරගේ කරුණාරත්න යන නමින් පැමිණි මෙම සැකකරු සම්බන්ධයෙන් සැක සිතූ කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කළා.
සිදුකළ ඒ ප්‍රශ්න කිරීම්වල දී මොහු ගණේමුල්ලේ සංජීව බවට තොරතුරු තහවුරු වී ඇති බව එවකට ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් වෙත භාර දී තිබුණා.
රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටි ගණේමුල්ල සංජීවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පුද්ගල ඝාතන 12ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කර ගැනීමට පසුගිය දා පොලිසිය කටයුතු කළා.
අනතුරුව ඔහුව දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් පොලීසිය අවසර ගත්තා.
ඒ අනුව ගණේමුල්ල සංජීවගෙන් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ ප්‍රශ්න කිරීම් සිදු කෙරුණා.
එම ප්‍රශ්න කිරීම්වල දී අපරාධ සිද්ධීන් 16ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කරගෙන ඇති අතර, ඊට පුද්ගල ඝාතන 12ක් හා වෙඩිතබා තුවාල සිදුකිරීම් 8ක් ද ඇතුළත්.
එමෙන්ම මරණකරුගේ අපරාධ කල්ලියේ සාමාජිකයන් 18 දෙනෙකු ද ඔහු නීතිවිරෝධී අයුරින් විදෙස්ගත කර තිබෙන බව සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී තිබෙනවා.
තවදුරටත් අනාවරණ වූ තොරතුරුවලට අනුව අපරාධ සිද්ධි 9ක් සඳහා භාවිත කළ විවිධ වර්ගයේ ගිනිඅවි කිහිපයක් ද සොයාගත් බව පොලීසිය සඳහන් කළා.
මේ අතර සැකකරුගේ නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී ඔහුට අයත් බැංකු ගිණුම්, දේපළ හෝ වාහන පිළිබඳව කිසිඳු තොරතුරක් අනාවරණ කරගැනීමට මෙතෙක් පොලිසීයට හැකි වී නැහැ.
ඔහුගේ බිරියට අයත් රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් 75,000ක මුදලක් සහ දියණියගේ බැංකු ගිණුමේ රුපියල් ලක්ෂ 5ක මුදලක් තැන්පත් කර ඇති බව විමර්ශනවල දී හෙළි වුණා.
ඒ අනුව පොලීසිය සැක කරන්නේ ඔහු නීතිවිරෝධී අයුරින් උපයාගත් මුදලින් වෙනත් පුද්ගලයන්ගේ නමින් දේපළ මිල දී ගෙන ඇති බවයි.