රංගන ශිල්පිනි රත්නා සුමනපාලගේ මුණුබුරා රිය අනතුරකින් මරුට

රංගන ශිල්පිනි රත්නා සුමනපාලගේ මුණුබුරා හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට හයිලෙවල් මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ රනාල ජල්තර නෙලූම් පෙදෙසේ පදිංචිව සිටි නවරත්න බණ්ඩාරලාගේ දුල්ෂාන් මනිෂ්ක සුමනපාල නමැති 24 හැවිරිදි තරුණයෙක්. මියගිය අය යතුරුපැදියක් මිලදී ගැනීමට ගොස් ඒ සඳහා පැමිණි මිතුරා නිවසට ඇරලවා නැවත එමින් සිටියදී මාර්ගයේ රැලි සහිත ස්ථානයකින් යතුරුපැදිය ලිස්සා ගොස් වට කීපයක් කැරකී පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි. 

අනතුර සිදු වූ අවස්ථාවේ යතුරුපැදිකරුගේ ආරක්ෂිත හිස්වැසුම ගැලවී ඇති අතර හිස මාර්ගයේ තදින් වැදීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ ඔහු පාදුක්ක දිසා රෝහලටත් එතැනින් ජාතික රෝහල වෙත රැගෙන යමින් සිටියදී අසාධ්‍ය වීම නිසා හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටියදී මියගොස් ඇති බවයි පැවසෙන්නේ. හංවැල්ල පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි