ජීවිත 174ක් බේරාගත් ගුවන් නියමුවාට ලෝක නායකයින්ගෙන් ප්‍රශංසා

ගුවන් යානයක් කඩා වැටීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වූ සහායක නියමුවෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබියදී මගීන්ගේ ජීවිත බේරාගැනීමට කටයුතු කළ ඉන්දීය ගුවන් නියමු Smit Machchhar ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් වීරයෙකු ලෙස හඳුන්වා තිබෙනවා.

ඊයේ (30) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඊශ්‍රායලය බලා ගමන් කරමින් තිබූ flydubai FZ1073 යානයේදී නියමුවන් දෙදෙනා අතර ගැටුමක් හටගෙන ඇති අතර එහිදී සහායක නියමුවා විසින් Machchhar හට පිහියකින් පහර දී ඇති අතර, යානය තත්පර 30කට අඩු කාලයකදී අඩි 14,000කට ආසන්න උසකින් පහළට ඇද වැටී ඇති බව වාර්තා වනවා.

බරපතළ තුවාල ලබා ලේ වැගිරෙමින් සිටියද Machchhar නියමු කුටියේ දොර විවෘත කිරීමට සමත්ව තිබෙනවා.

එම අවස්ථාවේදී මගීන් සහ කාර්ය මණ්ඩලය එක්ව සහායක නියමුවා පාලනය කර ඇති අතර, යානයේ සිටි තවත් flydubai නියමුවන් දෙදෙනෙකු යානය ආරක්ෂිතව සෞදි අරාබියේ Tabuk වෙත ගොඩබස්වා ඇති බවයි වාර්තා වුණේ.

යානයේ සිටි පුද්ගලයන් 174 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට Machchhar දායක වූ බව නෙතන්යාහු සඳහන් කර තිබෙනවා.

මෝදිද ඔහුගේ ධෛර්යය සහ තීරණාත්මක ක්‍රියාකලාපය අගය කරමින් ඔහු වීරයෙකු ලෙස හඳුන්වා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

මෝදි ප්‍රකාශ කර ඇත්තේ නියමුවාගේ ධෛර්යය සහ අධිෂ්ඨානය මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට තීරණාත්මක වූ බවයි.

මුම්බායි නගරයේ පදිංචිකරුවෙකු වන Machchhar මේ වනවිට Tabuk රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සැත්කමකටද භාජනය වී ඇති බව වාර්තා වේ. ඔහුගේ තත්ත්වය ස්ථාවර බව ඉන්දීය තානාපති කාර්යාලය පවසනවා.

සිද්ධියට හේතුව මෙතෙක් පැහැදිලි වී නොමැති අතර, පරීක්ෂණ අවසන් වනතුරු අනුමානවලින් වළකින ලෙස flydubai ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්