යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානීයෙක්

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ 59 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ පත් කර තිබෙනවා.

ඒ, ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශ මතයි.

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකු වන අතර මෙම නව පත්වීමට පෙර ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ලෙස කටයුතු කරනු ලැබුවා.

58 වැනි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රියන්ත පෙරේරා පසුගියදා සේවයෙන් විශ්‍රාම ගිය අතර ඔහුගෙන් පුරප්පාඩු වූ තනතුරට මේජර් ජෙනරාල් විකුම් ලියනගේ පත් කර ඇත.