නියමිත බර නොමැති පාන් අලෙවි කිරීම සහ බර හා මිල ප්‍රදර්ශනය නොකිරීමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා විශේෂ වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව පසුගියදා ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේ දී වෙළෙඳසැල් සහ බේකරි 107ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී බර අඩු පාන් සම්බන්ධ සිද්ධි 35ක් වාර්තා වූ බවයි එම අධිකාරිය පවසන්නේ.
මීට අමතරව ස්ථාන 85ක පාන්වල බර ප්‍රදර්ශනය කර නොතිබූ අතර, ස්ථාන 55ක මිල ප්‍රදර්ශනය කර නොතිබූ බව ද එම එම අධිකාරිය සඳහන් කරනවා.
බර අඩු පාන් හමු වූ අවස්ථාවල දී සිල්ලර වෙළෙඳුන්ට පමණක් නොව, අදාළ පාන් නිෂ්පාදනය කළ බේකරිය දක්වාම විමර්ශන දීර්ඝ කිරීමට නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
පාරිභෝගිකයාට නියමිත බරින් යුතු පාන් ලබාදීම සහ නිවැරදි තොරතුරු ප්‍රදර්ශනය කිරීම බේකරි හිමියන්ගේ සහ වෙළෙඳුන්ගේ නීතිමය වගකීමක් වන බැවින්, මෙවැනි වැටලීම් ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් අවධාරණය කරනවා.










