Empty Ad
Empty Ad
 Empty Ad

මගේ ජීවිතයේ මම වැඩිපුරම සතුටු වුණ දවස මම විශ්ව විද්‍යාලයට තෙරුන දවස

හරේන්ද්‍ර ජයලාල් කියන්නේ ප්‍රවීණ නිවේදකයෙක් විදියට රටක් ආදරය කරන දක්ශ නිවේදකයෙක්.මේ වෙනකොට රූපවාහිනි නාළිකා වැඩසටහන් සියල්ලක්ටම සමුදීලා ඔහු නිදහස් මාධ්‍යවේදියෙක් විදියට තමන්ගෙ ගමන ආරම්භ කරලා තියනවා.මේ නිදහස් ගමන තුළ හරේන්ද්‍ර ට ලැබෙන ආදරය දෙගුණ තෙගුණ වී ඇති බව ඔහු පවසනවා.ඉතිං මේ ආදරයත් සමඟම අද අපි හරේන්ද්‍ර ජයලාල් ව කතාබහකට සම්බන්ධ කරගත්තේ හරිම සතුටින්..

හරේන්ද්‍ර ආයුබෝවන් !

ආයුබෝවන්!

ඉතිං කොහොමද මේ දවස් වල?

මේ දවස්වල ආරම්භ කරපු දේවල් අවසන් කරන්න බැරුවත්,අලුත් දේවල් ආරම්භ කරන්න බැරුවත් තියන අසීරු කාලයක් හැමෝටම වගේ.නමුත් මාධ්‍යයට මාධ්‍ය වෙනුවෙන් කරන්න පුළුවන් දේ මේ සියලු අසීරුතා මැද්දේ ධනාත්මකව හරි විදියට කරන්න වෙහෙසෙනවා.

හරින්ද්‍ර ජීවිතේ ගැන මොකද හිතන්නේ?

ජීවිතය කියලා කියන්නේ අපිට ලැබිච්ච හොඳ තෑග්ගක්.අපි ඒක සතුටින් බාර ගන්න ඕන.අපි ජීවිතයේ දකින විදිය අනුව තමයි අපේ පැවැත්ම සහ ප්‍රතිචාරය තීරණය වෙන්නේ.මම හැමවෙලේම මට මේ ලැබිලා තියෙන ජීවිතේ ගැන ගොඩක් සතුටුවෙනවා.

මාධ්‍ය ජීවිතයේ ඔබ ආපු ගමන් මඟ දිහා ආයෙත් හැරිලා බැලුවොත් මොකද හිතෙන්නේ?

වෙන්න ඕන විදිහටම හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙනවා සහ වෙන්න ඕන තැන්වලදී හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙනවා.මෙහෙම නොවී මෙහෙම උනානම් කියලා හිතන්න කිසිම දෙයක් නෑ.මගේ ජීවිතයේ දී මං හරිම තැනදී හරිම තීරණ අරන් තියෙනවා.

මාධ්‍යයට අවතීරණය වෙන්නේ මුලින්ම යොවුන් පුවත්පත් ලේඛකයෙක් විදියට,ඊට පස්සේ මට ලැබිච්ච පළවෙනි අවස්ථාවෙම මම ගුවන් විදුලි නිවේදකයෙක් වුණා.ඊට පස්සේ ලැබිච්ච හොඳම අවස්ථාවේදී රූපවාහිනි නිවේදකයෙක් වුණා.රූපවාහිනී නිවේදකයෙක් විදියට මට කරන්න පුළුවන් හැම ආකාරයකම වැඩසටහන් මම කලා.ජාතික වැඩසටහන්,ආගමික වැඩසටහන්,ශාස්ත්‍රීය වැඩසටහන්,වින්දනාත්මක වැඩසටහන්,දේශපාලන, කාලීන සිදුවීම්,මේ සියළු වැඩසටහන් මම කලා.අවස්ථා තුනකදී මම තනතුරු අත්හැරියා.

මම live at 8 වලින් අයින් වුණේ ඒක නම්බර් වන් කරලා.මාධ්‍ය ජීවිතේ මට කරන්න පුළුවන් ඉහළ තනතුරු මම කලා.ඊට පස්සෙ තනතුරු ගැන තිබ්බ ආශාවත් මම අත්හැරියා.මම එහෙමයි මේ ගමන ආවෙ.

හරේන්ද්‍ර අද මේ ඉන්න තැන ගැන හරේන්ද්‍ර තෘප්තිමත්ද?

දැන් තමයි තෘප්තිමත්ම.මං කිව්වා වගේ හරි වෙලාවේ හරි තීරණ ගන්න මට ලැබුණා.දැන් මම නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරන ගමන් මගේ ව්‍යාපාර කරගෙන යනවා.මම මාධ්‍ය අවභාවිත කරන්නේ නෑ.මට ස්වර්ණවාහිනියෙදිත් ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා,නමුත් ඊට වඩා වැඩි ආදරයක් මම ආයතනගත නොවීම තුළ මට ලැබුණා කියලා මම හිතනවා.

මට හිතෙන්නේ ආයතනගත වීම තුළින් ආයතනයක තියෙන ප්‍රතිරූපය මිනිස්සු අපි තුළින් දකිනවා වෙන්න පුළුවන්.රූපවාහිනී නාලිකා දිහා මිනිස්සු බලන එක එකිනෙකට වෙනස්,ඒ බලන තැන් තුළත් අපිව හසුවෙනවා.එතනින් ඉවත් වුණාම අපි තනිව කරන දේ තුළ පමණයි මිනිස්සු අපි දිහා දකින්නෙ.මං හිතනවා ඒ ආදරය හරිම පිරිසිදුයි.මම දැන් සමාජ මාධ්‍යට ඇවිල්ලා අවුරුදු තුනක් විතර.මේ අවුරුදු තුනක් තුළ මට මේ දැනුණු ආදරය මීට කලින් ලැබිල නෑ.ඒ ගැන මට සන්තෝෂයි.

ඔබේ පවුලේ විස්තර ගැන කිව්වොත්?

මුල් පවුලේ විස්තර කිව්වොත් මගේ අම්මයි මමයි අයියලා දෙන්නයි.මගේ තාත්තා නැතිවුණේ මට අවුරුදු හතේදී.
මගේ විවාහය ගැන කිව්වොත් මගේ බිරිඳ පවිත්‍රා ගලප්පත්ති.මට පුතෙක් ඉන්නවා.එයා ඉගෙන ගන්නේ 8 ශ්‍රේණියේ.බිරිඳ කලින් විධායක රැකියාවක් කළා,නමුත් දැන් ඇය මගේ ව්‍යාපාර කටයුතු බලනවා වගේම මගේ සියළු වැඩ කටයුතු වලට දායක වෙලා ඉන්නවා මගේ හෙවනැල්ල වගේ.ඒක මට හරි පහසුයි.

ඔබ හරි ආදරණීය චරිතයක්,ඔබේ පවුලේ ආදරයත් සමග ඒ ආදරණීයකම තවත් වැඩි වෙනවා,මොකද හිතන්නේ ආදරේ ගැන?

මම කලින් කිව්ව වගේ ජීවිතය කියන්නේ තෑග්ගක්.ඒක මම හැම වෙලාවෙම හිතන්නේ සුබවාදීව.මම සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නෙත් සතුටුදායක පණිවිඩයක් කියන්න විතරයි.මම කවදාවත් කාටවත් Bad Comments දාන්නෙ නැහැ.මොකද මම ආසයි මිනිස්සු සතුටින් ඉන්නවට.ඒ සතුට කියන එකේ ආශ්වාදය මම හොඳටම විඳිනවා.ඒකට එකම හේතුව තමයි බිරිඳයි මමයි දරුවයි අතර තියෙන සම්බන්ධය.සාමාන්‍යයෙන් විවාහ වුණාට පස්සේ ජීවිතය ගනුදෙනුවක් බවට පත් වෙනවනේ,ඒත් අපිට එහෙම වුණේ නෑ.මොකද විවාහ වෙන්න කලින් අපිට නිතර නිතර හම්බවෙන්න අවස්ථා ලැබුණේ නෑ.මොකද ඒ කාලේ මම ස්වර්ණවාහිනියෙ වැඩ කරනකොට හරිම කාර්යබහුලයි.ඉතින් අපිට මුණ ගැහෙන්න ඉඩක් හම්බුනේ නෑ.

අපි වැඩිපුරම හම්බ වෙන්නේ කසාද බැන්දාම නේ,ඉතින් එතකොට තමයි අපි අතරෙ තියෙන බැඳීම හිතවත්කම හිතවත්කම වැඩි වෙන්න පටන් ගත්තේ.ඉතින් ජීවිතේ අපි අලුතින් පටන් ගත්තේ බඳින්න කලින් නෙමෙයි බැන්දට පස්සේ.අන්තිමට අපි දෙන්නා අතරෙ හොඳ ස්වාමිපුරුෂයා බිරිඳ කියන එකටත් වඩා එහාට ගියපු හොඳ යාළුවෝ දෙන්නෙක් අතර තියනවා වගේ බැඳීමක් ඉපදුණා.ඒ යාළුකමත් එක්ක මේ ගනුදෙනුව හරිම ලේසියි.මගේ ඕනම දෙයක් එයාට කියන්න පුළුවන්,එයාගෙ ඕනම දෙයක් මට කියන්න පුළුවන්.රහස් නැතුව ජීවත් වෙන්න පුළුවන්.ඒ වගේම තමයි මට ඉඩක් ලැබෙන හැම වෙලාවෙම මම ඉන්න කැමති ගෙදර විතරයි.

සමහර අයට නම් ඒක වදයක්..නමුත් මට නම් ඒක තමයි තියෙන එකම නිදහස.මගේ බිරිඳයි දරුවයි මට පේන්න හිටියොත් මට ඒ ඇති.මම මළගෙදරක ගියත් ඒ දෙන්නව එක්කන් යනවා.කොටින්ම කියනවනං මම පෙට්රල් පෝලිමට ගියත් ඒ දෙන්නව දාගෙන යනවා.එයාලට පුංචි අඩුවක් වත් දෙන්නෙ නැතුව මම මගේ වගකීම් හැම දෙයක්ම ඉෂ්ට කරනවා.හැබැයි ජීවිතය කියන්නේ වගකීම් ම නෙමෙයි,ඊට වඩා අපි නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා.සතුටු වෙන්න පුළුවන් පොඩි තැනදි උනත් අපි උපරිම සතුටු වෙනවා.ඒ බැඳීම තමයි හොදම බැඳීම.අපිත් එහෙමයි.

ඔබ ජීවිතයේ වැඩිපුරම සතුටු වුණු දවස?

මගේ ජීවිතයේ මම වැඩිපුරම සතුටු වුණ දවස මම විශ්ව විද්‍යාලයට තෙරුන දවස.මගේ විශ්වවිද්‍යාලය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.පොඩි කාලේ ඉඳන්ම මගේ ඉලක්කය වුනේ ඒක.කවුරුහරි කැම්පස් යනවනං එයා මට වීරයෙක් වගේ.ඒක මට මාර හීනයක් වෙලා තිබ්බේ.
ඇත්තටම එක එක්කෙනාට ගොඩ යන්න තියෙන අවස්ථා වෙනස්.මට හිතුනා ගොඩ යන්න නම් ඉගෙන ගන්න ඕන කියලා.ඒක තමයි මට තියෙන රැකවරණය කියලා.මම වෙච්ච මහන්සියට ප්‍රතිඵලය ආව දවස තමයි මගේ turning point එක.

මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න ඉන්න කෙනෙක්ට ඔබ මාධ්‍ය ක්ශේත්‍රය හඳුන්වා දෙන්නෙ කොහොමද ?

මම කියන්නේ වදාරන්න කලින් හදාරන්න.ඒක ප්‍රේමකීර්ති අල්විස් මහත්මයාගේ ප්‍රසිද්ධ කියමනක්.ඒක තමයි මම විශ්වාස කරන්නේ.ලංකාවේ මාධ්‍ය අවභාවිතා වන අවස්ථා ඕන තරම්..

කතා කරන්න අවශ්‍ය දේවල් මොලෙන් එළියට එන්නෙ නැත්නම්,ඒ දේවල් හදවතෙන් සුන්දරව ගලපල එළියට දෙන්නෙ නැත්නම්, ඇත්තටම වැඩක් නෑ එතන තියෙන්නේ වචන ටිකක් විතරයි.මොලේ පිරුණට වැඩක් නෑ,ඒවා එළියට දෙන්න පුළුවන් වෙන්න ඕන,සහ හදවතෙන් ඒවා ලස්සනට ගළපන්න පුළුවන් වෙන්න ඕන,සහ කියන්න පුළුවන් වෙන්න ඕන ලියන්න පුළුවන් වෙන්න ඕනේ.ඒක තුළ තමයි නියම මාධ්‍යවේදියෙක් බිහිවෙන්න.

එක රැයකින් නිවේදකයෙක් වෙන්න පුළුවන්,හැබැයි ගොඩ නැගෙන්න පුළුවන් ද කියන එක තමයි ප්‍රශ්නයකට තියෙන්නේ..පිරුණු හිසක් තියෙන්නම අවශ්‍යයි.

ඔබේ ජීවිතයේ ඉදිරියට කරන්න තියෙන වැඩ මොනවද?

ආයතනගත නොවී නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට මේ විදියටම ඉන්න,මොකද ඒකෙන් තමයි මම ලොකුම තෘප්තිය ලබන්නේ.ඒකෙ තියෙන ලොකුම දේ තමයි මට අවශ්‍ය දේ විතරක් මට කරන්න පුළුවන්.මම කරන දේට මම පමණයි වගකියන්නේ.සමහර මාධ්‍ය ආයතන වලට බනින්න ඕනවට සමහර වෙලාවට මිනිස්සු බනින්නෙ ඒකෙ ඉන්න නිවේදකයන්ට.

නිවේදකයන් මොන තරම් හොඳ දෙයක් කළත් ආයතනය යම් වරදක් කරලා තියෙනවා නම් ඒක ඉස්සරහට දාලා ඒ මනුස්සයාට පහර ගහනවා.ඒක වැරදියි.ආයතන ගත නොවී හිටියම මේ කිසිම ප්‍රශ්නයක් නෑ.ඒ වගේම මගේ මාධ්‍ය පාසලේ කරන්න වැඩ රාශියක් තියෙනවා.හැමදේටම මේ පරිසරය නිර්මාණය වෙන්න ඕන.ඒ අතරේ මම කරමින් යන මගේ ව්‍යාපාර සිද්ධ කරගෙන බොහොම පරිස්සමෙන් පියවර තබමින් ඉස්සරහට යනවා

සංවාදය – සචිනි සත්සරණි
Dasatha Lanka News

aecf3114 a334 4966 84f1 45ad3063c00e
2a71e35f 1d2d 4bb1 9d4f 79a317f91a7c
f2ca1529 c3ff 4bec b1be 11d0ff1be02d
47cf259e 7dd5 4e15 b87c 5d2211b1501d
02810bf0 e7d6 4fe2 841d 0592874a2c91
c7781f97 3d3f 4322 b125 0dda9fb19a79
38f94e8f 7ae4 4d61 8020 b19cf117b412
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
30
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?