Empty Ad
Empty Ad
AFC Banner

දේපළවල වටිනාකම වැඩි කිරීමට “උරුමය” වැඩසටහනෙන් හැකි වුණා – ජනපති

ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරමින් ඔවුන්ගේ දේපළ වටිනාකම වැඩි කිරීමට “උරුමය” වැඩසටහන මඟින් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොරෝනා වසංගතය මෙන්ම ආර්ථික අර්බුදය නිසා පහළ ගිය දේපළ වටිනාකම “උරුමය” වැඩසටහන නිසා නැවත ඉහළ ගොස් ඇති බවත්, එමඟින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ “උරුමය ” සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික් ජනතාවට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් මන්නාරම නගර ශාලා ශ්‍රවණාගාරයේ දී අද (16) පැවති උත්සවයට එක්වෙමින්.

මෙම වැඩසටහන යටතේ මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉඩම් ඔප්පු 5000ක් ලබාදීමට නියමිත අතර ඉඩම් ඔප්පු 442ක් ප්‍රදානනය කිරීම අද දින සංකේතවත්ව ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

මන්නාරම දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට පොහොර ලබාදීම වෙනුවෙන් මුදල් ලබාදීමට අදාළ චෙක්පත් ප්‍රදානය ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවුණා.

පසුගිය අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විනාශ වූ මන්නාරම දිස්ත්‍රික්කයේ කෘෂි වගාවන් වෙනුවෙන් කෘෂි රක්ෂණ වන්දි ප්‍රදානය කිරීම සහ ප්‍රදේශයේ ධීවර ජනතාවට ධීවර ආම්පන්න මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාදීම ද මෙහිදී සිදු කෙරුණා.

මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේස්වරන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වනු ලැබුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,

“පසු ගිය මාසයේ මා උතුරට පැමිණි අවස්ථාවේ දී මන්නාරමට පැමිණෙන බවට පොරොන්දු වුණා.මන්නාරම සංවර්ධනය පිළිබඳ අපට වැඩපිළිවෙළක් තිබෙනවා. උතුරු ප්‍රදේශයේ ඉඩම් අයිතිය ඉල්ලා සිටින පවුල් 90,000ක් පමණ සිටිනවා. එයින් පවුල් 45,000කට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ඔප්පු ලබාදීමේ හැකියාව තිබෙනවා. අනෙකුත් පවුල් 45,000 පිළිබඳ කඩිනමින් කටයුතු කරන ලෙස මම ආණ්ඩුකාරතුමියට හා උතුරු පළාත් සභාවට උපදෙස් ලබා දී තිබෙනවා .
1935 වසරේ සිට මේ දක්වා පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සෑම ජනකොටසකටම ඉඩම් ලබා දී තිබුනේ බලපත්‍ර වශයෙන් පමණයි. එනිසා මේ බලපත්‍ර ඕනෑම වෙලාවක අහෝසි කළ හැකියි. බලපත්‍ර ඉඩම්වලට සුරක්ෂිතභාවයක් නැහැ. ගොවීන් ගොවිතැන් කටයුතු කළත් ඔවුන්ට ඉඩම් හිමිකම ලැබුණේ නැහැ.
ඇතැම් ගොවි ජනතාව අවුරුදු 85ක් තිස්සේ ඉඩම් භාවිත කර තිබෙනවා. මේ රටේ ඉඩම් අයිතිය නොමැති පවුල් ලක්ෂ 20ක් පමණ සිටිනවා. උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළේ ඔවුන් වෙනුවෙනුයි. කොවිඩ් වසංගතය නිසා වැඩිපුරම පීඩාවට පත් වුණේ සාමාන්‍ය ජනතාවයි. රට බංකොලොත්භාවයෙන් මිදෙන විට එහි වාසිය ජනතාවට ලබාදිය යුතුයි. විශේෂයෙන්ම, උරුමය වැඩසටහන නිසා යළිත් ජනතාවගේ දේපළවල වත්කම වැඩි වෙනවා. ආසියාවේ කිසිඳු රටක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදී නැහැ. ඒ නිසා උරුමය වැඩසටහන රට තුළ සිදු කළ විප්ලවයක් ලෙස හඳුන්වා දිය හැකියි.
මීට අමතරව බස්නාහිර පළාතේ මහල් නිවාසලාභීන් දෙලක්ෂ පනස්දහසකට නිවාස හිමිකම ලබාදීමට ද අප පියවර ගන්නවා. ඒ, වගේම ආර්ථික කඩා වැටීම හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් රජයක් ලෙස කළ හැකි සෑම දෙයක්ම කරනවා. එදා උතුරේ ජනතාවට යුද්ධය නිසා නිවාස, දේපළ හා ඉඩම් අත්හැර යාමට සිදුවුණා. එම ජනතාවට ජීවිතයේ පළමු වතාවට සින්නක්කර ඉඩම් අයිතිය හිමි වීමත් සමඟ සාමාන්‍ය ලෙස ජීවත් වීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. ඔබට ලැබෙන මෙම ඉඩම් අයිතිය ආරක්ෂා කර ගන්නා ලෙස ද මා සියලුදෙනාගෙන් ඉල්ලනවා. එවිට ආර්ථිකමය වශයෙන් ඉදිරියට යාමට ඔබටත්, රටටත් අවස්ථාව ලැබෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?