ගෑස් ප්‍රශ්නය ගැන ජනාධිපති කමිටුවේ පිළිතුරු…

පසුගිය සතිය පුරා සිදුවූ ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලිවලින් 53% කට වැඩි ප්‍රමාණයක් ගෑස් කාන්දුවීම් සම්බන්ධ පැමිණිලි බව ගෑස් අනතුරු සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කමිටුව පවසනවා. ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරායාම් පිළිබද විමර්ශනය කිරීම හා ඒ පිළිබද විසදුම් සෙවීමේ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ පැවසුවේ ගෑස් අනතුරු සම්බන්ධ පැමිණිලි 458 ක් පසුගිය ඉරිදා දින වනවිට ලැබී තිබූ බවයි.

ඉන් පැමිණිලි 430ක්ම ලැබී ඇත්තේ නොවැම්බර් 29 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වායි. එම කාලය තුළ පමණක් ගෑස් කාන්දුවීම සම්බන්ධව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 227 ක්. පැමිණිලි 174 ක් ලැබී ඇත්තේ ගෑස් ලිපෙහි මුහුණත බිඳීයාම් හා ගෑස් ලිප් පුපුරායාම් සම්බන්ධයෙන්.

එම කමිටුව කරුණු ඉදිරිපත් කරමින් කියා සිටින්නේ ගෑස් කාන්දුවීම් හදුනා ගැනීම සදහා අනන්‍ය වූ ගන්ධය නොමැතිවීම ප්‍රධාන ගැටළුවක් බවට හදුනාගත් බවයි. අදාළ සමාගම් විසින් මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස්වල අදාළ ගන්ධය නිකුත්වීමට අදාළ රසායනික ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යෙදීමට ද එකඟ වී තිබෙනවා. අදාළ කමිටුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනාරක්‍ෂිත ක්‍රම ඔස්සේ ගෑස් සිලින්ඩර්වල කාන්දුවීම් පරීක්‍ෂා කිරීමෙන් වළකින ලෙසයි.

තත්ත්වයෙන් බාල සහ නියමිත කාලය ඉක්ම වූ රෙගියුලේටර්, ගෑස් සැපයුම් නළ, හෝස් ක්ලිප් හා දිරාපත් වූ උදුන් භාවිතය වාර්තා වූ ගෑස් අනතුරුවලට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් බවයි ජනාධිපති කමිටුව හදුනාගෙන ඇත්තේ.

දිගින් දිගටම සිදුවූ ගෑස් අනතුරු හේතුවෙන් වෙළදපොලට ගෑස් නිකුත් කිරීම අත්හිටුවීමට ඉකුත්දා පියවර ගත් අතර නව නිර්දේශ යටතේ සමාගම් දෙකම ඊයේ සිට වෙළදපොලට යළිත් ගෑස් නිකුත් කරමින් සිටිනවා.