යුරෝපයට සහ ඇමරිකාවට සාපේක්ෂව ආසියානු ජනතාව අතර විශේෂිත මානව ප්‍රෝටීනයක ඌනතාවක් තිබීම හේතුවෙන් ආසියාවේ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ වේගය අඩු බව විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන තිබේ.
බටහිර බෙංගාලයේ ජාතික ජෛව හා ජාන විද්‍යාත්මක ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් මෙම විද්‍යාත්මක පැහැදිලි කිරීම කර ඇත. බටහිරට සාපේක්ෂව ආසියානු රටවල මෙම වයිරසය මන්දගාමී ව්‍යාප්තියත් පෙන්වීමට ජෛව විද්‍යාත්මක හේතුව එය බව ඔවුන්ගේ අදහසය.
‘‘නියුට්‍රොෆිල් ඉලස්ටේස්’’ නම් මෙම විශේෂ මානව ප්‍රෝටීනය ශරීරයේ ඉහළ මට්ටමකින් තිබීම වයිරසයට පහසු වෙන්ම මානව සෛලවලට ඇතුළුවීමට උපකාරී වන අතරම ආසාදිත පුද්ගලයන් මගින් වයිරසය වේගයෙන් ව්‍යාප්ත වීමටද හේතු වේ. ඇල්පා -1 – ඇන්ටිට්‍රජසින් (AAT) නම් වෙනත් ප්‍රෝටීනයක ඌනතාවක් ඇතිවීමද නියුට්‍රොෆිල් ඉලස්ටේස් ඉහළ යාමට බලපාන බව සොයාගෙන තිබේ.
මෙම පර්‌යේෂණ කණ්ඩායමේ නායකත්වය ගෙන කටයුතු කළ නිදාන් බිස්වාස් සහ පර්තා මජුම්දර් පවසන පරිදි භූගෝලීය සාධක කෙරෙහිද මෙහිදි අවධානය යොමුව ඇත. කොරෝනා වයිරසය ව්‍යාප්තිය පිළිබඳ ප්‍රචලිතව ඇති මතයක් නම් ආසියානු රටවල ඉහළ උෂ්ණත්වයක් පැවැතීම වයිරසය ව්‍යාප්තවීමට බාධාකාරී වී ඇති බවය. එහෙත්, මෙම විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ඊට බලපා ඇති සාධක භෞතික හෝ සමාජයීය ඒවාටත් වඩා ජෛව විද්‍යාත්මක ඒවා බවය.