අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිය දී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව “ස්කයිප්” තාක්ෂණය ඔස්සේ විභාග කිරීමට කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය දැනුම්දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියම කළා.
මෙම නඩුව අද පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි නිකුත් කෙරුණේ.
එහිදී බූස්ස බන්ධනාගාරයේ දැනට රඳවා ඇති හරක්කටා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණේ නැහැ.
රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආරක්ෂක හේතුන් මත එම විත්තිකරු මෙම නඩුකරය සඳහා අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනුම්දුන්නා.
එමෙන්ම අදාළ නඩුව “ස්කයිප්” තාක්ෂණ ඔස්සේ විභාග කිරීමට අවසර දෙන ලෙසත් පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මේ සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය මාර්තු මස 17 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස එහිදී විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළා.