මේ රට තුළ ජීවත්වීමට නොහැකි, තමන්ගේ නියම නමින් පෙනී සිටීමට නොහැකි නිවට ජාවාරම්කාර අපරාධකරුවන් පිරිසක් විදේශ ගතව අපරාධ මෙහෙයවන බව නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.
පොලිස්පති ධුරයේ අද (14) දිනයේ වැඩභාර ගැනීමෙන් අනතුරුව පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මේ බව සඳහන් කළා.
මේ අතර මීට පෙර එම අපරාධකරුවන්ට හිමි වූ දේශපාලන රැකවරණය මේ වනවිට හිමි නොවන බවයි පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත් ඔවුන් මේ වන විට රට තුළ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්, ත්‍රිවිධ හමුදාවේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඇතැම් පොලිස් නිලධාරීන් පාවිච්චි කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර මීට පෙර අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය ලබාදුන් පුද්ගලයින් ඍජුව සහ වක්‍රව අපරාධකරුවන් සමඟ සබඳතා පවත්වන බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවත් ඔහු පැවසුවා.
ඔවුන් වෙනුවෙන් අදාළ නීතිමය කටයුතු ඉදිරියේ දී ගනු ලබන බවයි ඔහු මෙහිදී පැවසුවේ.
මේ අතර මේ වන විට අවි ආයුධ සෑහෙන ප්‍රමාණයක් සංසරණය වන බවත්, එම ආයුධ අතර ත්‍රිවිධ හමුදාවෙන්, පොලිස්සියෙන් සහ එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් බැහැර වූ ආයුධ පවතින බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.
එලෙස පොලිසියෙන් බැහැර වූ ආයුධ පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.





