spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සේවක අර්ථ සාධක අරමුදලේ පොලී කප්පාදුවට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා දින නියම වෙයි

අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම හදිසි නඩු කටයුත්තක් බැවින් එය සලකා බැලීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

මෙම කරුණට අදාළව අගෝස්තු මස 11 වනදා තීරණාත්මක තීන්දුවක් රජය විසින් ගැනීමට නියමිත හෙයින් ඊට පෙර දිනයක් ලබා දෙන ලෙසයි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ.

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා අගෝස්තු මස 4 වන දා කැඳවන ලෙස අධිකරණය නියෝග කළා.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කලා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය හා එහි සාමාජිකයින්, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ සේවක සේවිකාවන් විසින් අයකර ගන්නා ලද රුපියල් ට්‍රිලියන 3.4 ක පමණ දායක මුදලක් සේවක අර්ථසාධක අරමුදල තුළ පවතින බවයි.

සේවක අර්ථසාධක අරමුදල පවතින මුදල් වලින් 90% ක් පමණ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරන මුදල් සඳහා මෙතෙක් හිමි වූ සියයට 12 ක පොලිය 9% දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇති බවයි.

මේ තුළින් අදාළ අරමුදලට දායක වී සිටින සාමාජික සේවක සේවිකාවන්ට දැඩි අගතියක් සිදු වන බවයි පෙත්සම්කරු පෙන්වා දෙන්නේ.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් රජයේ මෙම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?