spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2024 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 ජනවාරි 01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගී වූ නාවික හමුදා පුද්ගලයින් ඇමතූ නාවික හමුදාධිපති, ලැබුවා වූ 2024 නව වසර වෙනුවෙන් සියළුම නාවික පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට සහ නාවික සිවිල් සේවක මහත්ම මහත්මීන් හට ප්‍රථමයෙන් සුභාශිංසන පිරිනැමීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ගෙවීගිය 2023 වසර ලංකාවාසී සැම දෙනාටම අභියෝගාත්මක වසරක් වූ බවත්, රට ක්‍රමයෙන් යථාතත්වයට පත්වන පසුබිමක විනයගරුක නාවික හමුදා සාමාජිකයන් ලෙස එම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දී රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලට නාවික හමුදා  පුද්ගලයන් ලෙස දක්වන ලද කැපවීම අගය කරන බවත්, බාහිර පාර්ශවයන්ගේ බලපෑම් වලට හසුනොවී ඉදිරියටත් එලෙස කැපවීමෙන් තම රාජකාරිය ඉටු කිරීම සෑම නාවික හමුදා පුද්ගලයෙක් වෙතින්ම අපේක්‍ෂා කරන බවත් පවසන ලදි. 

විශේෂයෙන්ම, තිස් වසරක යුද්ධයෙන් පසුව දෘෂ්‍යමාන සතුරෙකු නොමැති වුවත්, සාගරය ඔස්සේ රටට එල්ලවන සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග අදෘශ්‍යමාන සතුරු අභියෝග ලෙස සැලකෙන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා සෑම නාවික හමුදා පුද්ගලයෙක් වෙතින්ම  අඛණ්ඩ කැපවීම අවශ්‍ය වන බවත් නාවික හමුදාධිපති විසින් එහිදී  අවධාරනය කෙරිණි. 

ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් නාවික හමුදාවට පැවරෙන කාර්යභාරය පසුගිය 2023 වසරේ ඉතාමත් වගකීම් සහගතව ඉටු කිරීමට කටයුතු කළ බව ප්‍රකාශ කළ නාවික හමුදාධිපති, එහි ප්‍රතිඵලයක් ලෙස  මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කල මත්ද්‍රව්‍ය  විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුනු බවත්, නාවික හමුදාවේ එම සාර්ථකත්වය සමාජයෙන් විශාල ප්‍රශංසාවක් නාවික හමුදාවට ගෙනදීමට හේතු වූ  බවත්, එම ප්‍රසාදය 2024 වසරේදීද අඛණ්ඩව පවත්වා ගැනීමට සියළුම නාවික හමුදා පුද්ගලයින්ගේ වගකීම බවත් පවසන ලදි. 

නාවික හමුදා මූලස්ථානයේ පැවති රාජ්‍ය ප්‍රතිඥාව ලබාදීමේ අවස්ථා‍ව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා කළමණාකරන මණ්ඩලය, ධජ නිලධාරීන් ඇතුළු ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ ‍නිලධාරීන් සහ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන්, සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වී සිටියහ. මීට සමගාමීව සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි නාවික හමුදා පුද්ගලයන්, රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීමද සිදු කෙරිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?