spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට වාසි වන අයුරින් සහය වෙන්න – ලෝක් සභා කමිටුවකින් ඉන්දීය රජයට නිර්දේශ

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමට සහායක් වශයෙන් ඉන්දීය රාජ්‍ය හා පුද්ගලික අංශයේ සමාගම්වලට මෙරට ව්‍යාපෘතිවල වැඩි වශයෙන් ආයෝජන සිදුකරන ලෙස ඉන්දීය පාර්ලිමේන්තු කමිටුවක් මගින් නිර්දේශ කර තිබෙනවා.

එමෙන්ම අර්බුදකාරී අවස්ථාවන් හිදී ඉන්දියාව, ශ්‍රී ලංකාව වෙත ණය සහ මූල්‍ය ක්‍රියාමාර්ග ලබාදීමේදී ශ්‍රී ලංකාවට වාසිදායක අන්දමින් කටයුතු කරන ලෙසද එම කමිටුව මගින් නිර්දේශ කර තිබුණා.

ඉන්දීය ලෝක් සභාවේ විදේශ කටයුතු කමිටුව මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ ‘ඉන්දියාවේ අසල්වැසියාට ප්‍රමුඛත්වය’ යන ප්‍රතිපත්තියට අදාළ වාර්තාවක් ඉදිරිපත් කරමින්.

මෙම කමිටුව පෙන්වා දෙන්නේ 2021 වසරේදී ඉන්දියාව මෙරට විශාලතම සෘජු විදේශ ආයෝජකයා වශයෙන් ඩොලර් මිලියන 142ක් ආයෝජන කර ඇති බවයි.

එමෙන්ම අදාළ කමිටුව මගින් තවදුරටත් නිර්දේශ කර ඇත්තේ, මෙරට බලශක්ති විදුලිබල, වතු වැවිලි, වරාය සහ පුනර්ජනනීය බලශක්ති, ඛනිජ හා නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි ඉන්දීය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සමාගම් සිය ආයෝජන පුළුල් කිරීමට සහ නව ව්‍යාපෘති ආයෝජන කිරීම පිළිබඳව සොයා බැලිය යුතු බවටයි.

ශ්‍රී ලංකාවට IMF විස්තීර්ණ ණය මුදල අනුමත කරගැනීමට මෙන්ම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට ඉන්දියාවේ සහායවීම පාර්ලිමේන්තු විදේශ සේවා කමිටුවේ ප්‍රසාදයට ලක්ව තිබෙනවා.

එමෙන්ම ඉදිරියටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ සෙසු රටවල සහාය ලබාගැනීමේදී ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් කටයුතු කළ යුතු බවද එම කමිටුව වැඩිදුරටත් නිර්දේශ කර ඇති බව වාර්තා වනවා.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දැඩි ආර්ථික දුෂ්කරතා සහිත කාලවකවානුවේදී ආහාර, ඖෂධ සහ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා මෙන්ම විදේශ සංචිත ශක්තිමත් කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක් ලබා දුන් බව එම වාර්තාවේ සඳහන්.

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය පහසුකමක්, ආහාර, ඖෂධ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රසම්පාදනය සඳහා ශ්‍රී ලංකා රජයට ඩොලර් බිලියන 1ක ණය පහසුකමක්, ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීමට ඩොලර් මිලියන 500ක ණය සහනයක් ඊට ඇතුළත්.

අසල්වැසි පළමු ප්‍රතිපත්තිය යටතේ ගෙන ඇති ඉදිරි මාවත, නැවුම් මුල පිරීම් සහ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඉල්ලුම මත පදනම් වූ සහ ජනතා කේන්ද්‍රීය සංවර්ධන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සමස්ත උත්සාහය බවයි.

සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලැබිය හැකි රටපුරා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතරම ඒවා ශ්‍රී ලංකාවේ ජනතාවගේ දෛනික ජීවිතයට පැහැදිලි බලපෑමක් ඇති කරන ඒවා බව අදාළ වාර්තාවේ සඳහන්.

2022 දී ශ්‍රී ලංකාවට අනන්‍ය ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතිය, යාපනයට ඔබ්බෙන් පිහිටි දූපත් තුනක හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය, දෙරට අතර බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘති සහ ගාල්ලේ ස්මාර්ට් පන්තිකාමර 200 ක් පිහිටුවීම වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව කැපවී ඇතැයි විදේශ සේවා කමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

ඉන්දීය විදේශ අමාත්‍යංශය කමිටුවට දැනුම් දී ඇත්තේ අසල්වැසියාට ප්‍රමුඛත්වය වැඩපිළිවෙළේ අනාගත අපේක්ෂාවන්ට ශ්‍රී ලංකාවේ වර්ධනය වන ආර්ථික තත්ත්වය සහ ඒ ආශ්‍රිත අංගවලට අනුකූලව සංවර්ධන හවුල්කාරිත්වය ප්‍රතිනිර්මාණය කිරීම ඇතුළත් බවයි.

ඊට අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය සහ ධාරිතා වර්ධනය ද ඇතුළත් වනු ඇති.

දැනට ශ්‍රී ලංකාව වෙත ලබා දී ඇති ආයෝජන ප්‍රමාණය, ආධාර, ණය සහ එය වැඩිදියුණු කිරීමට රජයට කිසියම් සැලසුමක් තිබේදැයි විමසූ විට, සමුච්චිත වශයෙන්, ඉන්දීය රජය විසින් පොරොන්දු වූ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් පමණ වන බව අමාත්‍යංශය පවසා තිබෙනවා.

මෙය ඉන්දියාව විසින් දීර්ඝ කරන ලද විදේශ විනිමය සහය, විනිමය හුවමාරු පහසුකම් වැනි වෙනත් විවිධ ආධාරක වලට අමතරවයි.

පවතින සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ ආයෝජන දැනට ඩොලර් බිලියන 2.2 ක් පමණ වනවා.

ඉදිරියට යන විට, පුනර්ජනනීය බලශක්තිය සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි ප්‍රධාන අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාව සමඟ බහු-මාන ආර්ථික හවුල්කාරිත්වයට ආයෝජන කේන්ද්‍රීය විය යුතු බව කමිටුව පෙන්වා දී තිබෙනවා.

සහන ණය යටතේ දුම්රිය සහ යටිතල පහසුකම් සංවර්ධනය (USD බිලියන 1.684 ක් පමණ), ආරක්ෂක (USD මිලියන 267), පුනර්ජනනීය බලශක්තිය (USD මිලියන 100), ජල සැපයුම (USD මිලියන 317), වරාය සංවර්ධනය (USD මිලියන 45.27), අත්‍යවශ්‍ය සැපයුම් (USD බිලියන 1.7 ක් පමණ) ලෙස ඉන්දියා-ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගිතා ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් පවතිනවා.

ඊට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියන 1,410ක ණය සහන සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමේ පවතින බව විදේශ අමාත්‍යංශ්‍ය දැනුම් දී තිබෙනවා.

භාණ්ඩ හා සේවා ආවරණය වන පරිදි ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමක් (ETCA) පිළිබඳ සාකච්ඡා වට එකොළහක් 2018 සැප්තැම්බර් මාසය වන විට අවසන් කර ඇති බවත්, එම සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාර්ශ්වය කැමැත්ත පළ කර ඇති බවත් කමිටුව වැඩිදුරටත් සඳහන් කරනවා.

එම ETCA මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළඳ, ආයෝජන සහ ශක්තිමත් කරමින් නිදහස් වෙළඳ ගිවිසුමේ විෂය පථය පුළුල් වනු ඇති බව කමිටුවේ අදහසයි.

සාකච්ඡා ඉක්මනින් හා සාර්ථක ලෙස අවසන් කිරීම සඳහා නැවත ආරම්භ කළ යුතු බවත්, ධාරිතා ගොඩනැගීමේ සහ නිපුණතා සංවර්ධනයේ සහයෝගීතාවය සඳහා නව මුලපිරීම් ගන්නා අතරම විවිධ අංශවල දැනට ක්‍රියාත්මක වන සියලුම ව්‍යාපෘති කඩිනමින් නිම කිරීම රජයේ ප්‍රයත්නය විය යුතු බවත් විදේශ සේවා කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අවිනිශ්චිතතාවය සහ විදේශ විනිමය උග්‍ර හිඟය හේතුවෙන් ණයවර ලිපි හරහා ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා මූල්‍යකරණය කිරීමේ අභියෝග නිර්මාණය වී ඇති බව කමිටුව සඳහන් කරයි.

ඔවුන්ගේ වත්මන් ආර්ථික තත්ත්වය ස්ථාවර කිරීම සඳහා විදේශ විනිමය පිටතට ගලායාම අඩු කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් බලපත්‍ර අවශ්‍යතා සහ ඇතැම් ආනයන සඳහා සීමා පැනවීම ඉන්දියාවේ ප්‍රධාන අපනයන කිහිපයකට බලපා ඇති බව කමිටුවේ නිරීක්ෂණයයි.

මීට අමතරව, තීරුබදු නොවන පියවර සහ රෙගුලාසි සම්බන්ධයෙන් පෙර පැවති ඇතැම් අභියෝග ද යම් ප්‍රතිවිපාක ඇති කර ඇතැයි කමිටුව පවසනවා.

මෙම ගැටළු බොහොමයක් සාර්ථකව විසඳා ඇති අතර අනෙක් ගැටළු විසඳීමට උත්සාහ කරමින් සිටින බව ද කමිටුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද දෙරට අතර සුමට හා වැඩිදියුණු කරන ලද ද්විපාර්ශ්වික වෙළෙඳාම සඳහා ඉඩකඩ පවතින බව කමිටුවේ හැඟීම වන අතර, එබැවින් පවතින සියලු ගැටලු විසඳීම සඳහා වඩාත් ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කරන ලෙස ඔවුන් අමාත්‍යාංශයෙන් සහ ඉන්දීය දූත මණ්ඩලයෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍රී ලංකාව තවමත් මූල්‍ය අර්බුදයක ගිලී සිටින බැවින්, අර්බුදකාරී කාලවලදී ඉන්දීය රජය, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මිතුරා ලෙස දිගටම කටයුතු කළ යුතු බවත්, අවශ්‍ය නම්, ඉදිරියේදීත් ණය, විනිමය හුවමාරු සහ වෙනත් මූල්‍ය ක්‍රියාමාර්ග සඳහා හිතකර කොන්දේසි ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවට සහාය විය යුතු බවත් කමිටුව අපේක්ෂා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?