ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලය 241 දෙනෙකුට දිවි අහිමිකරමින් ඊයේ (12) සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුර පිළිබඳව මේ වනවිටත් ලෝකයේම අවදානය යොමු වී අවසන්.
විවාහයෙන් දින දෙකකට පසු ලන්ඩනය බලා ගමන් ගත් තරුණයෙක් ද මෙම ගුවන් අනතුරින් මියගිය පුද්ගගලයින් අතර සිටින බව ඉන්දීය මාධ්‍ය මේ වනවිට වාර්තා කරනවා.
26 හැවිරිදි වියේ පසු වූ භාවික් මහේෂ්වරී නැමැති මෙම තරුණයා අනතුරු සිදුවීමට දින දෙකකට පෙර විවාහ වී ඇති අතර, යළි ඔහු සේවය කළ ලන්ඩනයට යාමට හදිසියේ ඔහුට සිදුව තිබෙනවා.
මේ අතර තම පුතා සති දෙකක කෙටි නිවාඩුවක් සඳහා නිවසට පැමිණි පසු දෙමව්පියන් ලෙස තමන් හා බිරිඳ ඇතුළු ඥාතීන් ඔහුව විවාහ කර දීමට තීරණය කළ බවයි භාවික්ගේ පියා මාධ්‍ය වෙත පවසා ඇත්තේ.
පසුගිය 10 වන දින ඔවුන් භාවික් අධිකරණ විවාහය පවත්වා ඇති අතර, එය සරල විවාහයක් වූ බවයි ඔහුගේ පියා පවසා සිටියේ.
ඔහු ඊළඟට ආපසු පැමිණෙන විට ඔහුගේ දෙමාපියන් ලෙස තමන් හා බිරිඳ උත්කර්ෂවත් විවාහ උත්සවයක් සැලසුම් කර තිබූ බවයි භාවික්ගේ පියා වන අර්ජුන් මහේෂ්වරී සඳහන් කර ඇත්තේ.
“බ්‍රහස්පතින්දා දහවල් 1.00 ට පමණ ඔහු මට කතා කරලා කිව්වා සියල්ල ඉවරයි කියලා, ගුවන් ගමනට සූදානම් කියලා. ගෙදර යන නිසා කරදර වෙන්න එපා කියලා. එයා අධ්‍යාපනය අවසන් කරලා ලන්ඩනයේ වැඩ කරමින් හිටියා. පැය භාගයකට පස්සේ, මොකද වුණේ කියලා කාටවත් තේරුම් ගන්න බැරි වුණා.” යනුවෙන් භාවික්ගේ පියා වැඩිදුරටත් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.