බලයෙන් පහ කරන ලද අවාමි ලීග් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලනඥයන්, ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් අධිචෝදනා ගොනු නොකර දිගු කලක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීම වහාම නතර කරන ලෙස Human Rights Watch (HRW) සංවිධානය බංග්ලාදේශ රජයෙන් ඉල්ලා තිබෙනවා.
HRW පවසන්නේ 2024 අගෝස්තු මාසයේ ෂෙයික් හසීනා බලයෙන් ඉවත් වූ පසු අවාමි ලීග් පක්ෂයේ නිලධාරීන් සහ ආධාරකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් සිය ගණනක් මේ දක්වා කිසිදු අධිචෝදනාවක් නොමැතිව බන්ධනාගාරගතව සිටින බවයි.
සංවිධානය සඳහන් කරන්නේ, හිටපු රජයේ ඇතැම් පිරිස් මානව හිමිකම් උල්ලංඝනවලට සම්බන්ධ වී තිබිය හැකි වුවත්, බොහෝ දෙනෙකු විරෝධතාකරුවන් ඝාතනය කළ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ නීතිඥයන් චෝදනා කරන්නේ ඇප, වෛද්‍ය ප්‍රතිකාර සහ මූලික නීතිමය අයිතිවාසිකම්ද ඔවුන්ට අහිමි කර ඇති බවයි.
HRW දත්ත අනුව, 2026 පෙබරවාරි මාසයේ අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් බලයට පත්වීමෙන් පසු අවාමි ලීග් නායකයන් සහ නිලධාරීන් අවම වශයෙන් 10 දෙනෙකු බන්ධනාගාර තුළදී මියගොස් තිබෙනවා.
මානව හිමිකම් සංවිධානය විශේෂයෙන් අවධානය යොමු කර ඇත්තේ 82 හැවිරිදි හිටපු අගවිනිසුරු ඒ.බී.එම්. කයිරුල් හක් ගේ සිද්ධියටය. ඔහුට ඇප ලැබෙන සෑම අවස්ථාවකම පොලීසිය නව නඩු ගොනු කර ඔහු නිදහස් වීම වළක්වා ඇති බව HRW පවසනවා.
එමෙන්ම ජාත්‍යන්තර අපරාධ විනිශ්චය අධිකරණය යටතේ රඳවා සිටින 81 හැවිරිදි හිටපු උපදේශක ඩොක්ටර් තව්ෆික්-ඊ-ඉලාහි චෞධුරි සහ 75 හැවිරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කමාල් අහමඩ් මජුම්දර් මාස 22කට වැඩි කාලයක් අධිචෝදනා නොමැතිව රඳවා සිටින බවද වාර්තාව පෙන්වා දෙනවා.
HRW හි ආසියා අධ්‍යක්ෂ ඉලේන් පියර්සන් පවසන්නේ, “අධිචෝදනා ගොනු කිරීමට පෙරම වයෝවෘද්ධ පුද්ගලයන් බන්ධනාගාර තුළ මියයන පද්ධතියක් සාධාරණ අධිකරණ ක්‍රියාවලියක් නොවේ” යනුවෙනි.
බන්ධනාගාර මරණ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ පැවැත්වීමත්, අධිචෝදනා නොමැතිව දීර්ඝ කාලයක් රඳවා තැබීම නතර කිරීමත් බංග්ලාදේශ රජය වහාම කළ යුතු බවද ඇය අවධාරණය කර තිබෙනවා.













