විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිර්ඝ කිරීමේ තීරණයට සිය අකමැත්ත පලකරන බව මහා නායක හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බවට තමන් වෙත වාර්තා වූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය පවසනවා.
අද (03) දින මල්වතු පාර්ශ්වයේ මහානායක තිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
“මං හිතන්නේ මේ ආණ්ඩුවට මේක ඉදිරියට ගෙන යාමට කිසිම සදාචාර අයිතියක් නැහැ. මල්වතු නායක මාහිමිපාණන් අපට දැනුවත් කරා මල්වත්ත, අස්ගිරිය, රාමඤ්ඤ හා අමරපුර නිකායන්හි මහනායක හිමිවරු අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරලා තියෙනවා කියලා මේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසුයි කියලා. ඒ හතර නිකායෙන් මහා නායක නාහිමිපාණන් වහන්සේලා අතිගරු ජනාධිපතිතුමාට උපදේශයක් කරලා තියෙනවා නම් මේ දේ කරන්න එපා කියලා. ඒ වගේ උපදේශනයක් එනකොට ඇත්තටම ඒ උපදේශය පිළිගන්න ඕන.”













