පාරිභෝගික ආරක්ෂාව සඳහා පනවා ඇති නීති හා විධාන උල්ලංඝනය කරමින් සටහන් කළ මිලට වඩා වැඩි මිලකට බිත්තර අලෙවි කිරීම, භාණ්ඩවල සටහන් කර තිබූ මුල් මිල ඉවත් කර වෙනස් කිරීම සහ කල් ඉකුත් වූ සිසිල් බීම අලෙවිය සඳහා තබා තිබීම සම්බන්ධයෙන් සුප්‍රසිද්ධ වෙළඳපොල ජාලයක ශාඛා දෙකකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.
බණ්ඩාරගම, පානදුර පාරේ පිහිටි ඉන් එක් ශාඛාවක පසුගිය 31 වැනිදා පරීක්ෂා කිරීමේදී, බිත්තර 10ක් අඩංගු ඇසුරුමක උපරිම සිල්ලර මිල රු.590/- ලෙස පැහැදිලිව සටහන් කර තිබියදී එම ඇසුරුම රු.615/- කට අලෙවි කර ඇති බවත්, කල් ඉකුත් වූ සිසිල් බීම අලෙවිය සඳහා තබා තිබූ බවත් අනාවරණය වී ඇති බවයි පාරිභෝගක අධිකාරිය පවසන්නේ.
මෙම නඩුව පසුගිය 03 වැනිදා පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිකාර සමාගම අදාළ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව රු.200,000ක දඩයක් නියම කර තිබෙනවා.
එමෙන්ම එම වෙළඳපොල ජාලයේම මතුගම ශාඛාවේ පසුගිය 21 වැනිදා පරීක්ෂා කිරීමේදී, සටහන් කර තිබූ මුල් මිල ඉවත් කර මිල වෙනස් කරන ලද ග්‍රෑම් 100 Sweet Potato Chips ඇසුරුම් 05ක් අලෙවිය සඳහා ඉදිරිපත් කර තිබීම අනාවරණය වුණා.
විධාන අංක 85 සහ පනතේ 10(4) වගන්තිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පවරන ලද මෙම නඩුව පෙරේදා (14) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ විත්තිකාර සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව රු.200,000/- ක දඩයක් නියම කර තිබෙනවා.













