ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (OUSL) සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධාන කර තිබෙන “තරුණ සංවර්ධනය පිළිබඳ පළමු ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණය 2026” (1st National Research Symposium on Youth Development – NRSYD) අද (16) පැවැත්වෙනවා.
ඒ, රත්මලාන ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල ශ්‍රවණාගාරයේදී යි.
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහභාගී වුණා.
තරුණයින් මුහුණ දෙන ගැටලු විද්‍යාත්මක හා තිරසාර ලෙස විසඳීම සඳහා මාර්ගෝපදේශ සහ නිර්දේශ ලබා දිය හැකි ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම රජයේ අභිප්‍රාය බව අග්‍රාමාත්‍යවරිය බව එහිදී සඳහන් කළා.
ජාතික තරුණ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය රඳා පවතින්නේ එය ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ ඇගයීම මත බවයි අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.
“තරුණයින් මුහුණ දෙන ගැටලු විද්‍යාත්මක හා තිරසාර ලෙස විසඳීම සඳහා මාර්ගෝපදේශ සහ නිර්දේශ ලබා දිය හැකි ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම රජයේ අභිප්‍රායයි. ප්‍රතිපත්තියක් සකස් කිරීම කියන්නේ ආරම්භය පමණයි. ජාතික තරුණ ප්‍රතිපත්තියේ සාර්ථකත්වය රඳා පවතින්නේ එය ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සහ ඇගයීම මතයි. තරුණයින්, වෙනස්කම්වලට මුහුණ දීමට සමත් නම්‍යශීලී (resilient) පිරිසක් බවට පත්කිරීම සහ ලෝකයේ සිදුවන සාධනීය වෙනස්කම්වලට නායකත්වය දෙන පිරිසක් බවට පත්කිරීම අපගේ අරමුණ විය යුතුයි”
ශ්‍රී ලංකාවේ තරුණ පරපුර මුහුණ දෙන වර්තමාන අභියෝග ජයගැනීමට සහ ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් සපිරීම උදෙසා සකස් කෙරෙන නව ‘ජාතික තරුණ ප්‍රතිපත්තිය’ (National Youth Policy) 2027 වසරේ මුල් කාර්තුව වන විට අවසන් කර ක්‍රියාත්මක කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා
මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න ඇතුළු පර්යේෂකයින්, විද්වතුන් සහ තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව සිටියා.













