ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ අල්ලස් හා දූෂණ විරෝධී ක්‍රියාමාර්ග මෙන්ම ආයතනික සුපිළිපන්භාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස, ISO 37001 – අල්ලස් විරෝධී කළමනාකරණ පද්ධතිය පිළිබඳ දෙදින වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කෙරුණා.
ජාත්‍යන්තරව පිළිගත් අල්ලස් විරෝධී ක්‍රියාමාර්ග, ආයතනික සුපිළිපන්භාවය සහ ඒ සඳහා භාවිත කෙරෙන යාන්ත්‍රණ පිළිබඳ අවබෝධය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබෙනවා.
මෙම වැඩමුළුවේ ආරම්භක දේශනය ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මිය විසින් ද, ප්‍රධාන දේශනය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්ද පවත්වන ලද අතර ජාත්‍යන්තර සම්පත්දායක විශේෂඥ ප්‍රවීන් කුමාර් පශ්රිචා මහතා විසින් ආරාධිත දේශනයද එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) ජාතික තත්ත්ව විශේෂඥ සුමති එල්. රාජසිංහම් මහත්මිය විසින් විශේෂ දේශනයක් ද සිදු කරනු ලැබුවා.
අල්ලස් විරෝධී කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම, දූෂණ අවදානම් වැළැක්වීම, අභ්‍යන්තර පාලන ක්‍රමවේද වැඩිදියුණු කිරීම, සදාචාරාත්මක පාලනය සහ රාජ්‍ය ආයතන තුළ සුපිළිපන්භාවය මත පදනම් වූ සංස්කෘතියක් ස්ථාපිත කිරීම කෙරෙහි මෙම වැඩසටහනේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
එමෙන්ම, ආයතනික දුර්වලතා හඳුනා ගැනීම, දූෂණ අවදානම් කළමනාකරණය, වගවීම ශක්තිමත් කිරීම සහ සදාචාරාත්මක හැසිරීම් ප්‍රවර්ධනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන අභ්‍යන්තර කටයුතු ඒකක (Internal Affairs Units) ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරෙනවා.
ජාතික මට්ටමින් සුපිළිපන්භාවය මත පදනම් වූ සංස්කෘතියක් ගොඩනැගීම සඳහා රාජ්‍ය අංශයට පමණක් සීමා නොවී බැංකු හා පෞද්ගලික අංශ ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර වෙතද සුපිළිපන්භාවය සහ අල්ලස් විරෝධී ක්‍රියාමාර්ග ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණා.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ අල්ලස් හා දූෂණ විරෝධී ක්‍රියාමාර්ග මෙන්ම ආයතනික සුපිළිපන්භාවය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ දැනුම සහ විශිෂ්ටතම ක්‍රමවේද ලබා දෙමින් එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සහ යුරෝපා සංගමය මෙම වැඩසටහන සඳහා සහාය ලබා දෙනවා.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, බැංකු සහ පෞද්ගලික සමාගම් ප්‍රධානීහු සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම වැඩමුළුවට සහභාගි වුණා.













