ශ්රී ලංකාව නැගෙනහිර වෙළෙඳපොළට පිවිසීමේ දොරටුවක් ලෙස සලකා මෙරට ආයෝජන සඳහා යොමුවන ලෙස යුරෝපා ආයෝජකයන්ට ආරාධනා කරන බව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන නියෝජ්ය අමාත්ය චතුරංග අබේසිංහ පැවසුවා.
යුරෝපා සංගමයේ Global Gateway ආයෝජන ක්රමෝපාය යටතේ ශ්රී ලංකාවට නව ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගැනීම සහ දෙපාර්ශ්වය අතර කාර්මික හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) පැවැත්වුණා.
නියෝජ්ය අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට යුරෝපා කොමිසමේ ජාත්යන්තර හවුල්කාරීත්ව පිළිබඳ අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ (DG INTPA) ආසියා, මධ්යම ආසියා සහ පැසිෆික් කලාපය භාර අධ්යක්ෂ පීටරිස් උස්ටබ්ස් (Pēteris Ustubs) ඇතුළු යුරෝපා සංගම් නියෝජිත පිරිසක් සහභාගි වුණා.
ඩිජිටල් තාක්ෂණය, දේශගුණික හා බලශක්ති පරිවර්තනය, ප්රවාහන යටිතල පහසුකම්, සෞඛ්යය, අධ්යාපනය සහ පර්යේෂණ ඇතුළු ක්ෂේත්රවල සංවර්ධනය වෙනුවෙන් යුරෝ බිලියන 300කට ආසන්න ගෝලීය ආයෝජන සක්රීය කිරීම යුරෝපා සංගමයේ Global Gateway වැඩසටහනේ අරමුණයි.
මෙම වැඩසටහන යටතේ ශ්රී ලංකාවේ කර්මාන්ත හා ව්යවසායකත්ව ක්ෂේත්රවලට ලබාගත හැකි ප්රතිලාභ පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. දේශීය සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් ජාත්යන්තර වෙළෙඳ ප්රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ නියෝජ්ය අමාත්යවරයා, ඒ හරහා ජාත්යන්තර අපනයන වෙළෙඳපොළට පිවිසීමට මෙරට ව්යවසායකයන්ට ඇති අවස්ථා පුළුල් කළ හැකි බව පෙන්වා දුන්නා.
නව ව්යවසායකයන්ගේ මූලික අදහස් සාර්ථක ව්යාපාර බවට පත් කිරීම සඳහා අවශ්ය මඟපෙන්වීම, සම්පත් සහ තාක්ෂණික සහාය ලබාදෙන නව ව්යවසායකත්ව පූර්ව වර්ධන මධ්යස්ථාන (Startup Incubators) ස්ථාපිත කිරීමේ අවශ්යතාව ද ඔහු අවධාරණය කළා.
එවැනි මධ්යස්ථාන පිහිටුවීම සඳහා ප්රාග්ධන ආයෝජන සහ තාක්ෂණික සහාය ලබාදෙමින් දේශීය සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් සමඟ හවුල්කාරීත්ව ගොඩනඟා ගැනීමට යුරෝපා සංගමයේ සහාය අපේක්ෂා කරන බව ද නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළා.
මෙවැනි මැදිහත්වීම් තුළින් කෙටි කාලීනව මෙන්ම දිගු කාලීනව ද ශ්රී ලංකාවේ අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබාගත හැකි බව ඔහු පෙන්වා දුන්නා.
ජාත්යන්තර මුහුදු වෙළෙඳ මාර්ගවලට සමීප ඉන්දියානු සාගරයේ ශ්රී ලංකාවට හිමි උපායමාර්ගික පිහිටීම, පුහුණු හා දක්ෂ ශ්රම බලකාය, පාලන කටයුතුවල විනිවිදභාවය, යහපත් ජීවන පරිසරය සහ සාමකාමී දේශපාලන සංස්කෘතිය මෙරට ආයෝජන ගමනාන්තයක් ලෙස පවතින වාසි බව ද නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළා.
ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (IMF-EFF) යටතේ රජය ක්රියාත්මක කරන ප්රතිසංස්කරණ පිළිබඳව ද නියෝජ්ය අමාත්යවරයා යුරෝපා සංගම් නියෝජිතයන් දැනුවත් කළා.
ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කළ පීටරිස් උස්ටබ්ස් මහතා, ජාත්යන්තර මූල්ය අරමුදලේ පස්වැනි සහ හයවැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීම සහ ඒ හා සම්බන්ධ ප්රතිසංස්කරණ ක්රියාත්මක කිරීම පිළිගත්තේය. එමඟින් යුරෝපා සංගමයේ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා ශ්රී ලංකාව නිවැරදි දිශාවට ගමන් කරන බවට ජාත්යන්තරයට පණිවිඩයක් ලැබෙන බව ද ඔහු සඳහන් කළා.
දකුණු ආසියාවේ කලාපීය බලශක්ති සම්බන්ධතා ශක්තිමත් කිරීම, පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති ප්රවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් සංවර්ධනයේදී විනිවිදභාවය තහවුරු කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වුණා.
රටේ ව්යාපාරික හා කාර්මික පද්ධති නවීකරණය කිරීම සහ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේදී විනිවිදභාවය තහවුරු කිරීම සඳහා රජය කැපවී සිටින බව නියෝජ්ය අමාත්යවරයා ප්රකාශ කළේය. දේශීය ව්යවසායකයන් ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණික සහාය ලබාදීම සහ ශ්රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට දායක වීම ඇතුළු ක්ෂේත්රවලදී යුරෝපා සංගමය අඛණ්ඩව ලබාදෙන රාජ්යතාන්ත්රික හා සංවර්ධන සහයෝගීතාව පිළිබඳව ද ඔහු සිය කෘතඥතාව පළ කර සිටියා.
කොළඹ පිහිටි යුරෝපා සංගම් නියෝජිත කාර්යාලයේ නියෝජ්ය ප්රධානී ගාලියා අගිෂේවා (Galia Agiševa) සහ එම කාර්යාලයේ සහයෝගීතා ප්රධානී වර්ජිනි ලෆ්ලර්-ටයිග් (Virginie Lafleur-Tighe) ද මෙම සාකච්ඡාවට සහභාගි වුණා.
