පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර හමුවෙයි (වීඩියෝ)

පෙම්වතිය බැලීමට ගොස් දින කිහිපයක සිට අතුරුදන් වූ බව කියන කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ කැලෑවක තිබී එම මළ සිරුර සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ කුමන ආකාරයෙන් ද ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් කවුද යන්න සම්බන්ධයෙන් තවමත් කරුණු අනාවරණය වී නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

තරුණයාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකු ගෙන් ලද තොරතුරු මතයි මෙම මෘත ශරීරය අද (07) උදෑසන සොයාගෙන ඇත්තේ.

පසුගිය අප්‍රේල් 22 වනදා කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේ පදිංචිව සිටි සුසිත් ජයවංශ නැමැති තිස්එක් හැවිරිදි තරුණයා අතුරුදන් වී ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

මේ අතර තරුණයා පැහැරගැනීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සතිපොළ ආසන්නයේ අතහැර දමා ගොස් තිබිය දී පසුගිය 04 වැනිදා විල්ගමුව පොලිසිය විසින් සොයා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්