තව නොබෝ දිනකින් සීෂෙල්ස් රාජ්‍යයේ තිබෙන ලොරෙන්සෝ පුතා 4 ධීවර යාත්‍රාව යළි ලංකාවට ගෙන්වා ගැනීමට හැකිබව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා පවසනවා.
ඔහු තවදුරටත් පවසා සිටියේ ධීවරයින් නිරුපද්‍රිතව ගෙන්වා ගැනීමට සීෂෙල්ස් රාජ්‍යය සහ විදේශ කටයුතු අමාත්‍යාශය එක්ව සාකච්ජා සිදු කරන බවයි.
ලොරෝන්සෝ පුතා 4 බහුදින ධීවර යාත්‍රාව ජනවාරී මස 12 වැනිදා වත්තල දික්ඕවිට ධීවර වරායෙන් ධීවරයින් 6කු සමඟ පිටත් වූ අතර කොළඹ සිට නාවික සැතපුම් 1160ක් දුරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වුණා.
පසුව සීෂෙල්ස් රාජ්‍යයේ වෙරළ ආරක්ෂක භටයන් ධීවර යාත්‍රාව මුදාවගත් අතර ධීවර යාත්‍රාව සහ ධීවරයින් නිරුපද්‍රිතව සීෂෙල්ස් රාජ්‍යයේ අගනුඅවර වෙත රැගෙන ගියා.
ධීවර යාත්‍රව පැහැර ගැනීමට අදාළව නිතීමය කටයුතු සීෂෙල්ස් රාජ්‍යයේ විසින් තවමත් සිදුකරනු ලබනවා.
ඉන්පසුව ධීවර යාත්‍රව සහ ධීවරයින් ගෙන්වා ගැනීමට හැකිබවයි අද පැවැති මාධ්‍ය හමුවේ දී ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත මහතා පවසා සිටියේ.













