සැප්තැම්බර් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිත මීළඟ පාර්ලිමේන්තු සතියේ, සැප්තැම්බර් 22 සහ 23 යන දිනවලට අදාළව පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පවසනවා.
නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් අද (21) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කටයුතු තීරණය වී තිබෙනවා.
ඒ, අනුව සැප්තැම්බර් 22 අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී තිබූ අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම, සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.
සැප්තැම්බර් 23 බදාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය කර තිබූ ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බව ද මහ ලේකම්වරිය සඳහන් කරනවා.
එමෙන්ම, සැප්තැම්බර් 23 වනදා විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍යමය සහනාධාරයක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීමට ද නියමිතයි.
මෙම පරිපූරක ඇස්තමේන්තුව 2026.09.22 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරනු ලබන්නේ, 2026 වර්ෂය සඳහා රේඛීය අමාත්‍යාංශ වෙත වෙන් කර ඇති නමුත්, වසර අවසානය දක්වා උපයෝජනය නොවන බවට හඳුනාගෙන ඇති ප්‍රතිපාදන මගින්.
ඒ, අනුව මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරණ විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි සිදු කෙරෙනවා.
කෙසේ වෙතත් සැප්තැම්බර් 24 සහ 25 යන දිනවලට අදාළව තීරණය කර තිබූ පාර්ලිමේන්තු කටයුතුවල වෙනසක් සිදු නොවන බව ද පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වැඩිදුරටත් පවසනවා.













