සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී ඇති ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වුණා.
මෙහිදී සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කළ ඔහුගේ දෙමාපියෝ, සිය පුත්‍රයා සම්බන්ධයෙන් කඩිනම් මැදිහත්වීමක් සිදු කර ඔහුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.
ඔවුන්ගේ ඉල්ලීමට සාවධානව සවන් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, අනෝජන්ට සමාව ලබාගැනීමට රජය උපරිමයෙන් උත්සාහ කරමින් සිටින බවත්, ඒ වෙනුවෙන් නෛතිකව සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන බවත් සඳහන් කර සිටියා.
විශේෂයෙන්, සෞදි රජුගෙන් මේ පිළිබඳව සමාව ලබාදෙන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිතව ඉල්ලා සිටීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසුවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ද සිවරාසා අනෝජන් සම්බන්ධ සිද්ධිය පිළිබඳව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අඛණ්ඩව අවධානය යොමු කරමින්, සෞදි බලධාරීන් සමඟ රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙහිදී සඳහන් කළා.
ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් සහ සිවරාසා අනෝජන්ගේ පවුලේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියා.













