ජර්මානු බුන්ඩස්ටාග් දකුණු ආසියානු පාර්ලිමේන්තු කණ්ඩායම සජිත්ව හමුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජර්මානු බුන්ඩස්ටාග් පාර්ලිමේන්තුවේ දකුණු ආසියානු පාර්ලිමේන්තු කණ්ඩායමේ නියෝජිත පිරිස අතර සුවිශේෂ හමුවක් ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු වුණා.

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ආයෝජන, තාක්ෂණය, කුසලතා, දැනුම හා නවෝත්පාදනය මත පදනම් වූ ඉදිරිගාමී හවුල්කාරීත්වයක් ගොඩනැගීම පිළිබඳ ව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුව තිබෙනවා.

ඵලදායිතාව මත පදනම් වූ ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව ගමන් කිරීමේ අවශ්‍යතාව, තාක්ෂණික හා වෘත්තීය කුසලතා වර්ධනය, පුනර්ජනනීය බලශක්තිය, දේශගුණික ඔරොත්තුදීමේ හැකියාව, තිරසර සංවර්ධනය සහ ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමේ වැදගත්කම මෙහි දී විපක්ෂ නායකවරයා ජර්මානු දූත පිරිස හමුවේ අවධාරණය කළා.

කුසලතා හා තාක්ෂණය, හරිත පරිවර්තනය, නාවික හා නිල් ආර්ථික සංවර්ධනය මෙන් ම ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පාර්ලිමේන්තු සංවාද තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇති අවස්ථා පිළිබඳ ව ද දෙපාර්ශ්වය අතර වැඩිදුරටත් අදහස් හුවමාරු වුණා.

එහි දී නිෂ්පාදන ධාරිතාව, රැකියා අවස්ථා, තාක්ෂණ හුවමාරුව සහ දිගුකාලීන ආර්ථික වටිනාකම ඇති කරන හවුල්කාරීත්වයන් වෙත ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු බවත් ඒ සමඟ ම රටේ ස්වභාවික උරුමය ආරක්ෂා කරමින් ජාතික ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් කළ යුතු බවත් මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවා.

සුහද හා ඵලදායී වාතාවරණයක පැවති මෙම හමුවේ දී දෙරටේ පාර්ලිමේන්තු අතර අඛණ්ඩ සම්බන්ධතා තවදුරටත් පවත්වා ගෙන යාම පිළිබඳ ව දෙපාර්ශ්වයේ ම උනන්දුව යොමු වුණා.

මේ අවස්ථාව වෙනුවෙන් ජර්මානු දූත පිරිස සඳහා Mr. Nicklas Kappe (Head of the Delegation and Member of Parliament
Member of Parliament), Mr. Gerold Otten (Member of Parliament), Mr. Johann Saath (office Member of Parliament), Ms. Ulle Schauws (Secretary of the delegation) සහ Ms. Katerina Bienert එක්ව සිටියා.

ඊට අමතර ව සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, කාවින්ද ජයවර්ධන, චමින්ද්‍රානි කිරිඇල්ල සේම හිටපු මන්ත්‍රී බුද්ධික පතිරණ ද, කුසුම් විජේතිලක, මහාචාර්ය කෙනඩි ගුණවර්ධන, මහාචාර්ය මහීම් මෙන්ඩිස්, තලාල් රාෆී, දිලුම් අලගියවන්න, චරණ කනන්කේගමගේ සහ මහේෂ් සේනානායක යනාදීන් ද එක්වුණා.